ආපදා තත්ත්වයන් මෙරටට අලුත් මාතෘකාවක් නොවන්නේ මෑත ඉතිහාසයේ ආපදාමය තත්ත්වයන් කිහිපයකටම අප මුහුණදුන් බැවිනි. ඉන් බොහොමයක් ආපදා ස්වාභාවික ආපදා වූ අතර, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ ආපදාමය තත්ත්වයන් කිහිපයක්ද ඒ අතර විය.මෙම සියලුම ආපදාමය තත්ත්වයන් තුළදී අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැපයීමට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාගේ සහෝදරත්වයේ දෑත් දිගු විය.යම්කිසි ආපදාමය තත්ත්වයකදී එයට මුහුණ දෙන ජනතාවට ආහාර පාන, ඇඳුම් පැලඳුම් වැනි දේ ඉතා කඩිනමින් සැපයිය යුතු වන අතරම සහහන සැපයීමේදී වඩාත් අවධානය යොමුකළ යුතු පිරිසක් ලෙස කාන්තාවන් , ගැහැනු දරුවන් හා ගැබිනි මවුවරුන් නම් කළ හැකිය. මන්දයත් මොවුන්ට මෙම ආපදාමය තත්ත්වවලදී ඇතිවන විශේෂ අවශ්‍යතාවන් පවතින බැවිනි.
විශේෂයෙන් එහිදී ප්‍රජනන සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන් හා ඔවුන්ගේ ගරුත්වය රැකගැනීම වෙනුවෙන් අවැසි දෑ සැපයීමේ අවශ්‍යතාවක් එහිදී මතුවේ. මෙවැනි විපත් අවස්ථාවකදී සාමාන්‍යයෙන් සියලු දෙනාගේම අවධානය යොමුවනුයේ ආහාරපාන හා ඇඳුම් වැනි දේ පරිත්‍යාග කිරීම සඳහා වන හෙයින්ම ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය, ලෝක ජනගහන අරමුදල හා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම මෙරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය එක්ව විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබේ.
පසුගිය ආපදා අවස්ථාවලදීද මෙම වැඩසටහන ඉතා සාර්ථකව සිදුකෙරුණු අතර, එම වැඩසටහන පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හරිස්චන්ද්‍ර යකන්දාවල මහතාව අප 'අද'ට සම්බන්ධ කර ගත්තෙමු.
"ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය දැනට ආපදා අවස්ථාවල ප්‍රජනන හා ලිංගික සෞඛ්‍ය පිළිබඳ සේවාවන් සපයනවා. මෙහිදී අපි සලකා බැලුවේ ආපදා තත්ත්වවලදී අවතැන් වන කාන්තාවන්ට හා ගැහැනු දරුවන්ට අනෙක් අයට මෙන් නොවෙයි ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන් ඇතිවන අවශ්‍යතාවන් නිසා ඔවුන් මුහුණදෙන අපහසුතාවන් පිළිබඳවයි. විශේෂයෙන් අවතැන් වූ කාන්තාවන් හා ගැහැනු ළමුන් අතර ඔසප් චක්‍රය ක්‍රියාත්මක අය, ගැබිනි අය, මවුකිරි දෙන අය ඉන්න පුළුවන්. ඔවුන් අවතැන්ව සිටින විට පෞද්ගලිකව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරෙනවා. මේ නිසාම ඔවුන් විවිධ අතවරයන්ට ලක්වීමට තිබෙන අවදානම වැඩියි. අපේ වැඩසටහනේ මූලික පරමාර්ථය වෙලා තිබෙන්නේ මෙන්න මේ හේතූන් නිසා කාන්තාවන්ට සිදුවන අතවර සිද්ධීන් වළක්වා ගැනීමට මූලික පියවරයන් ගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපුරා දීම.
මේ වෙනුවෙන් අපි විශේෂ කාරණා කිහිපයක් සලකා බලනවා. එකක් තමයි ඔවුන්ට සුදුසු පරිසරයක් සැකසීම, අනෙක තමයි මාතෘ හා නව ජන්ම සේවාවන් සැපයීම හා එච්. අයි. වී ඒඩ්ස් සම්ප්‍රේෂණය වැළැක්වීම.ඒ වගේම කියන්න ඕන ආපදා තත්ත්වයක් පැවතියත් ආපදාවන්ට ලක්වූ අය අතර අඹුසැමි ලිංගික සබඳතා ඇතිවීමට ඉඩක් තිබෙනවා. ඉතින් ආපදාවට කලින් කාන්තාවන් යම්කිසි පවුල් සංවිධාන ක්‍රමයක් අනුගමනය කරමින් සිටියා නම් එය මේ අවස්ථාවේදී අතපසු වී තිබෙන්නට පුළුවන්. එම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම නිසා අනවශ්‍ය ගැබ් ගැනීම් සිදුවන්නට ඉඩක් තිබෙනවා. ඒ වගේම ලිංගික අතවර වගේ සිදුවීම් මෙවැනි පරිසරයක සිදුවන්නට තිබෙන ඉඩත් වැඩියි.
මේ හරහා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග , එච්. අයි. වී වගේ ඒවා පැතිරෙන්නට පුළුවන්. මේවා වැළැක්වීමටත් යම්කිසි වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. ඒ ගැන සලකා තමයි SPRINT යන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ. මුලින් මේ වැඩසටහන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වැනි ආයතන හරහායි සිදුවුණේ. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සමග එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සංවිධාන කිහිපයක් දැන් මේ සඳහා එක්ව කටයුතු කරනවා. විශේෂයෙන් ආපදා අවදානම් සහිත දිස්ත්‍රික්ක හා ප්‍රදේශ හඳුනාගෙන ආපදා කළමනාකරණ සේවා සපයන අය, සෞඛ්‍ය සේවා සපයන අය හරහා ආපදා අවස්ථාවක හැකි විගස මෙම පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු කල්තියා සූදානම් කර තිබෙනවා.
එම පහසුකම් සමගම වෛද්‍ය සායන පැවැත්වීම, මෙවන් අවස්ථාවක ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ආරක්ෂාවට අවශ්‍ය දැනුම ලබාදීම අපි සිදුකරනවා. කාන්තාවන්ට අප මෙවන් අවස්ථාවක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක එකතුවක් ලෙස dignity kit නමින් අත්‍යවශ්‍ය භාණ්ඩ කට්ටලයක් ලබාදෙනවා. එම dignity kit මේ වනවිටත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රත්නපුර, ගාල්ල, මාතර, කොළඹ, බදුල්ල වැනි දිස්ත්‍රික්කවලට ලබාදීලා තිබෙනවා.
අප ලබාදෙන dignity kit එකේ කාන්තාවකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 17ක් ඇතුළත් කර තිබෙනවා. ඒ සියල්ල ප්ලාස්ටික් බාල්දියක අසුරා ලබාදීමටයි අප කටයුතු යොදා තිබෙන්නේ. එයට හේතුව මේ බාල්දියත් ඔවුන්ට මේ වගේ අවස්ථාවක ඉතා ප්‍රයෝජනවත් වීමයි. එහි සබන්, රෙදි සෝදන සබන්, දත් බුරුසුවක්, දන්තාලේපයක්, ඩෙටෝල් වැනි විෂබීජ නාශක දියරයක්, සනීපාරක්ෂක තුවා පැකට්ටුවක්, පැරසිටමෝල් කාඩ්පතක්, මදුරු දඟර, පාවහන් ජෝඩුවක්, නිය කටරයක්, හැට්ට කටු කැරැල්ලක්, යට ඇඳුම් කිහිපයක්,ඇඟ පිස්නාවක් ඇඳුම් කිහිපයක් මෙයට ඇතුළත්.
මේ සමග දෙන බාල්දිය ඔවුන්ට වැසිකිළියට යෑමේදී වතුර රැගෙන යෑමට, රෙදි සේදීමට වතුර ටිකක් ගැනීමට වැනි දේකට යොදා ගත හැකියි. අපේ සොයා බැලීම්වලදී මෙම කට්ටලයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. මොකද ආපදා තත්ත්වයකදී මෙවැනි දේවල් ආධාර ලෙස ලබාදෙනවාට වඩා ආහාර පාන ගැන තමයි බොහෝ දෙනාගේ අවධානය යොමුවෙන්නේ. මෙයට අමතරව අප maternity kit යනුවෙන් ගර්භිණී මවක් ප්‍රසූතියට රෝහලට යන අවස්ථාවේ රැගෙන යා යුතු මූලික දේවල් ඇතුළත් කට්ටලයක් අවතැන් වූ ගැබිනි මවුවරුන්ට ලබා දෙනවා. මෙහි බබාලාට නැපි, බෙඩ් ජැකට්, චීත්ත, බේබි ඇඳුම්, රබර් ශීට් එකක්, ඇතුළු අනෙක් අවශ්‍ය කරන දේවල් අඩංගු කර තිබෙනවා.
ඒ වගේම ලිංගික හිංසන අතවරවලින් මේ අයව ආරක්ෂා කරගන්නට අවශ්‍ය දැනුම්වත් කිරීම ප්‍ර‘දේශය භාර පොලිස් නිලධාරීන් හා එකතුව අප විසින් සිදුකරනු ලබනවා. විශේෂයෙන් කඳවුරුවල ගැහැනු පිරිමි ලෙස වෙන් කළ වෙනම පිහිටි වැසිකිළි පහසුකම් සපයා දීම, එසේ වෙන්කර වෙන වෙනම නාන ස්ථාන පහසුකම් ලබා දීම, ජලය සපයා ගැනීමට පහසුකම් එළිමහන් ස්ථානවල ස්ථාපිත කිරීම, කාන්තාවන්ට හා පිරිමින්ට රාත්‍රී නිදාගන්නා ස්ථාන වෙනම වෙන්කර දීම, ඇඳුම් මාරු කරන්නට ආරක්ෂිත ස්ථාන සකස්කර දීම, ආපදාවට ලක්වූ කාන්තාවන්ට බඩු බෙදා හැරීමේදී කාන්තා නිලධාරීන් පත්කිරීමෙන් ඔවුනට විය හැකි පෙලඹවීම් අවම කිරීම වගේ ආරක්ෂිත ක්‍රියාමාර්ග අවතැන් කඳවුරු තුළ ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු යොදා තිබෙනවා.
මේ ක්‍රියාමාර්ග අපි නිලධාරීන් සමග එකතුවෙලා සිදු කරන දෙයක් බැවින් ආපදා අවස්ථාවක සේවා සපයන නිලධාරීන්ව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් නිතර සිදුකරනවා.පසුගිය ආපදාමය තත්ත්වයන්වලදී උදාහරණ ලෙස බදුල්ල දිස්ත්‍රික්කය ගතහොත් දැනුම්වත්ව සිටි නිළධාරීන් කාන්තාවන් හා ගැහැනු දරුවන් එම තත්ත්වයන්ට මුහුණ දීමට පෙර තියාම ඔවුන්ගේ ආරක්ෂාවට අවශ්‍යය පියවර රැගෙන තිබුණා.
Q කාන්තාවන් හා ගැහැනු දරුවන් වෙනුවෙන් ගන්නා මෙම ක්‍රියාමාර්ග යම්කිසි පිළිගත් ක්‍රමවේදයක් හරහාද ඔබ ආයතනය මගින් සිදුකරන්නේ?
මෙය අපි තනිව සිදු කරන්නක් නොවෙයි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඔවුන් සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි සිදුවන්නේ. මෙය අපි රජය හරහායි ක්‍රියාත්මක කරන්නේ. එහිදී අපි රජයේ ක්‍රියාවලියකට අවශ්‍ය භාණ්ඩ හා ප්‍රතිපාදන සැපයීමක් තමයි සිදුකරන්නේ.
Q මෙම වැඩසටහනේ ආරම්භය හා පසුගිය ආපදාමය තත්ත්වවලදී එය ක්‍රියාත්මක වූ ආකාරය සඳහන් කළොත්..?
අපි මෙය ආරම්භ කර අවුරුදු තුනකට වැඩියි. පසුගිය ආපදාමය තත්ත්වවලදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහායි මේ ක්‍රියාවලිය සිදුකරනු ලැබුවේ. ඔවුන් අදාළ ප්‍ර‘දේශවල ග්‍රාමසේවා නිලධාරීන් හා ප්‍රාදේශීය නිලධාරීන් හරහායි මෙම කටයුතු සිදුකරනු ලැබුවේ. එහිදී ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංවිධානය ලෙස අපි මේ වැඩසටහන නිසි පරිදි සිදුවෙනවාද? අවශ්‍යතා ඇති අය වෙත මෙම කට්ටල යොමු කෙරෙනවාද? කියන එක ගැන විපරම් කිරීමක් සිදුකළා. අපි ආපදා අවස්ථාවක කිසිම කඳවුරකට ගිහින් මෙම භාණ්ඩ බෙදා දීමක් සිදුකරන්නේ නැහැ. රජයේ ක්‍රමවේදය තුළයි ඒවා අවශ්‍ය පුද්ගලයන් වෙත ලබාදීම සිදුකෙරෙන්නේ.
Q මෙම වැඩපිළිවෙළට කාන්තාවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කෙබඳුද ?
ඉතා හොඳ ඉහළ ප්‍රතිචාර තිබෙනවා. විශේෂයෙන් මෙය කාන්තාවන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් කරන දෙයක් නිසා ඔවුන් එය ඉතාමත් ඉහළින් අගය කරනවා. වෙනත් අය කෑම බීම දුන්නට කාන්තාවන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන්ම මෙවැනි කට්ටලයක් ලබාදීම සාමාන්‍යයෙන් සිදුවෙනවා අඩුයි.
Q පසුගිය සමයේ සමාජ මාධ්‍ය හරහා ඇතැමුන් මෙයට විවේචන ඉදිරිපත් කර ඇති තත්ත්වයක් අප දුටුවා ?
ඇත්තටම අපේ මිනිස්සු හැමදේකම වැරැද්දක් හොයනවානේ. අපේ ආයතනයේ කාර්යභාරය වෙලා තිබුණේ අවතැන් වූ අයට කෑම බීම ලබාදීම නොවෙයි. මේක කාන්තාවකගෙන් විමසා බැලුවා නම් කියයි එය ඔවුන්ට කෙතරම් වැදගත්ද කියන එක. අපි අරමුණු කරගෙන තිබෙන්නේ කාන්තාවන් ආපදාවකට මුහුණ දී තිබියදී ඔවුන්ගේ ගරුත්වය රැක ගන්නේ කොහොමද කියන එක මතයි. අපි කඳවුරුවලට ගියාම මේ පිළිබඳව කාන්තාවන්ගෙන් අදහස් විමසනවා. ඔවුන්ගෙන් අපි අහනවා මෙම කට්ටලය ඔවුන්ට වැදගත්ද? එයට තව එකතු කරන්නට යමක් තිබෙනවාද? කියන එක. එක් වරක් ආපදාමය අවස්ථාවකදී අපි කඳවුරකට ගිහින් කාන්තාවන්ගෙන් විමසුවා ඔවුන්ට අවශ්‍ය මොනවාද කියලා.
ඔවුන් කිව්වා සනීපාරක්ෂක තුවා අවශ්‍යයි කියලා. අපි වහාම ඒවා ලබාදෙන්නට කටයුතු කළා. ඒ වෙලාවේ නැවත කාන්තාවන් ඇවිත් කිව්වා ඔවුන්ට යට ඇඳුම්වල අවශ්‍යතාවක් පවතින බව. ඉතින් කාන්තාවකට තමන්ගේ අතිශය පෞද්ගලික උවමනාවන් සැරින් සැරේ කියලා ඉල්ලන්න බැහැනේ. අනිත් එක තමා මේ වගේ තත්ත්වයකට මුහුණදෙන කාන්තාවක් තමයි එහි තිබෙන බැරෑරුම්කම දන්නේ. ඔසප්වීම ආරම්භ වුණ කාන්තාවකට අවතැන් කඳවුරක සෙනග මැද ඉන්න බැහැනේ. ඒ වෙලාවේ කාගෙන්ද ඇය පිළිසරණක් පතන්නේ? කෑම ටිකක් නම් කාගෙන් හරි ඉල්ලා ගන්න පුළුවන්. නමුත් කාන්තාවක් කොහොමද ගිහින් මට සනීපාරක්ෂක තුවායක් අවශ්‍යයි කියලා ඉල්ලන්නේ. විවේචනය කරන මිනිසුන්ට ඉතින් මේ තත්ත්වය තේරුම් ගන්න බැහැ. අපි වෛද්‍ය කඳවුරු කරද්දී අපි ළඟට එන්නේ බෙහෙත් ගන්න අවශ්‍ය අය. ඒ අතර පවුල් සංවිධාන ක්‍රම අවශ්‍ය කාන්තාවන් ඉන්නත් පුළුවන්. එවිට අපි ඒ සේවාව සපයනවා.
Q මෙම කට්ටල අවශ්‍ය පුද්ගලයන්ගේ අතට පත්කිරීම ආපදාමය අවස්ථාවකදී ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා සිදුවෙනවාද ?
අපි එයට කෙතරම් ප්‍රමුඛතාවක් දෙනවාද යන්න පිළිබඳව තිබෙන හොඳම සාධකය තමයි අපි ආපදාවකට පෙර සිටම මේ කට්ටල අදාළ අවදානම් ප්‍ර‘දේශවල ආයතනවලට ලබාදී තිබීම. දැනටමත් දිස්ත්‍රික් කාර්යාලවල මෙම කට්ටල ගබඩාකර පවතිනවා. ගංවතුරක් හෝ වෙනයම් ආපදාමය අවස්ථාවක ඔවුන් ක්ෂණිකව මෙම කට්ටල අවශ්‍ය අය වෙත ලබා දීමට කටයුතු යොදනවා. ඒ කියන්නේ ආපදාවක් සිදුවී පළමු දිනයේ සිට උපරිම දින තුනක් ඇතුළත මේවා බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට හැකියාවක් තිබෙනවා. අපි දෙයක් සිදුවෙනතුරු සිට මේ කට්ටල ඇසුරුම්කර බෙදා හැරීමක් කිසිවිටෙකත් සිදුකරන්නේ නැහැ. ඒවගේම කියන්න ඕන මේ ආධාර විදේශයකින් ලබාදෙන ඒවා නොවෙයි.
මේවා අපේ රටේ වෙළෙඳ පොළෙන් මිලදීගෙන අපි විසින්ම ඇසුරුම් කිරීමක් තමයි සිදුකරන්නේ. ඇතැමුන් මේවගේ දෙයක් බෙදා දෙද්දී කියන දෙයක් තමයි වඳ බෙහෙත් දාලයි මේවා දෙන්නේ කියලා. ඇත්තටම කියන්න ඕන වෛද්‍ය විද්‍යාත්මකව වඳ බෙහෙත් කියලා දෙයක් නැහැ. එහෙම ඇඳුම්වලට හෝ වෙනයම් දෙයකට එහෙම වඳ බෙහෙත් කියලා දෙයක් එකතු කරන්න බැහැ වගේම එහෙම කෙනෙක්ව වඳ කරන්නත් බැහැ. ඒ වගේම කියන්න ඕන මේ අපි ලබාදෙන කට්ටලය කිසිම විදේශ ආධාරයක් විදේශ බලපෑමක් මත නොවෙයි සිදුකරන්නේ. ඒ නිසා මේවායේ කිසිදු අහිතකර දෙයක් අඩංගු නැහැ.
Q අවතැන්වූ ජනතාව අතර පවුල් සංවිධාන ක්‍රම සඳහා ඉල්ලුම් කරන අයගේ නැඹුරුව කෙබඳුද ?
ලැජ්ජාව නිසා තමයි බොහෝදෙනා ඇවිත් තමන්ගේ මෙවැනි අවශ්‍යතා ගැන සඳහන් කරන්නේ නැත්තේ. නමුත් අපි ඒ සඳහා සේවාවන් සපයන බව දැනගත්තම බොහෝ කාන්තාවන් අපි ළඟට එනවා. ආපදාවට ලක්වෙන්න පෙර පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස ගිලින පෙති ලබාගත්ත කාන්තාවකට ආපදාවෙන් පසු එම පෙති පැකට්ටුව නැතිවී තිබෙන්නට පුළුවන්. එවිට අපිට එවැනි කාන්තාවකට පෙති ලබාදීම සිදුකරන්න පුළුවන්. ඒ වගේම එන්නත් ලබාගත් කෙනෙකුට ඒ පහසුකම් ලබාදිය හැකියි.
Q ආපදාමය තත්ත්වයකදී රාජ්‍ය අංශය හරහා ඔබ ආයතනය මෙම කටයුතු ක්‍රියාත්මක කරනවා වගේම සහෝදරත්වයේ දෑත් දිගුකරන අනෙක් ජනතාවටත් මෙවැනි සත්ක්‍රියාවකට දායක විය හැකියි නේද ?
ඇත්තටම ඔව්. මම ඉහත සඳහන් කළ භාණ්ඩ අඩංගු කරලා කට්ටලයක් හදාගන්නට පුළුවන් නම් මෙවැනි සේවාවක් කරන්නට ඕනෑම අයෙකුට හෝ සංවිධානයකට හැකියාවක් තිබෙනවා. ඒ වගේම කියන්න ඕන ඇතැම් සුපිරි වෙළෙඳ සැල්වල මෙවැනි දෑ අඩංගුකර සැකසුණු කට්ටල පවා තිබෙනවා. විශේෂයෙන් දරු ප්‍රසූතියට යන අම්මා කෙනෙක් රැගෙන යා යුතු කට්ටල වෙළෙඳ පොළෙන් මිලදීගත හැකියි. එසේ නැත්නම් බෙඩ් ජැකට්, චීත්ත, යට ඇඳුම් කිහිපයක්, සබන්, සනීපාරක්ෂක තුවා, බේබි නැපි, මැකින්ටොෂ් එකක්, නැපි කටු, දත් බුරුසුවක්, දන්තාලේපයක්, බේබි ඇඳුම් කිහිපයක්, පොඩි උණුවතුර බෝතලයක්, රබර් සෙරෙප්පු දෙකක්, බේබි ටවල් එකක්, අම්මට ටවල් එකක්, ඇඳ ඇතිරිල්ලක්, වගේ කට්ටලයක් බෑගයක් තුළට දමා ලබාදිය හැකියි. මේවා ඕනෑම මවකට අවශ්‍යයිනේ. හදිසි ආපදාවකදී හදිසි දරු ප්‍රසූතියකට යන මවකට මේ කට්ටලය රැගෙන ගිය හැකියි. මේක කුමන හෝ ආයතනයක්, සංවිධානයක් හරහා සිදුකරන්නට පුළුවන් දෙයක්.
Q පසුගිය ආපදාමය තත්ත්වවලදී අප දුටුවා ගුවන් මගින් රෝහල්වලට ගැබිනි මවුවරුන් රැගෙන එන ආකාරය. මෙවැනි අවස්ථාවක රෝහල් තුළ මේ මවුවරුන්ට අවශ්‍ය කට්ටල කිහිපයක් ගබඩා කර තැබීම සුදුසු නොවේද?
සමහර වෙලාවට මේ කට්ටල බෙදා හැරීමේදී රජය මගින් අනුගමනය කරන ක්‍රමවේද සමග අනුගත වෙද්දී එවැනි දෙයක් කරන්න අපිට අපහසුයි. රජයෙන් තීරණයක් අරන් තිබෙනවා ආපදාමය අවස්ථාවක සති 36ක් හෝ ඊට වැඩි ගැබිනි මවක් වහාම ළඟම තිබෙන රෝහලට ඇතුළත් විය යුතුයි කියලා. එහෙම තීරණය කරන්න හේතුව නව ජන්ම මරණ, ළදරු මරණ හා මාතෘ මරණ මෙවැනි අවස්ථාවක සිදුවීමට ඉඩක් තිබීමයි. දුර ඉන්න අයට හදිසි අවස්ථාවකදී රෝහල කරා එන්නට වැඩි වේලාවක් ගතවිය හැකියි. ඒ නිසා මෙවැනි හදිසි මරණ වැනි දේ වළක්වා ගන්නයි රජය එවැනි තීරණයක් ගෙන ඇත්තේ.
නමුත් පසුගිය ආපදා අවස්ථාවක බදුල්ල ප්‍ර‘දේශයේ මෙයට ජනතාවගේ විරෝධය යොමු වුණා. ඇයි සති 36ක මවක් රෝහල් ගතකරන්නේ කියන එක ඔවුන්ට ගැටලුවක් වී තිබුණා.අපි ජාත්‍යන්තරව පවා දකින දෙයක් තමයි මෙවැනි ආපදාමය අවස්ථාවකදී රෝහලට යන්න වැඩි වේලාවක් ගතවීම හේතුවෙන් තමයි මාතෘ මරණ හා නව ජන්ම මරණ රැසක් සිදුවී තිබෙන්නේ කියන එක. මොකද ආපදා අවස්ථාවක පාරවල් අවහිර වී තිබෙන්නට පුළුවන්. ඉතින් මිනිස්සු තේරුම් ගන්න ඕන කළ යුතු හා නොකළ යුතු දේ කුමක්ද කියන එක.