සියදිවි නසාගැනීම අද වනවිට සියලු ගැටලුවලට පිළියමක් බව සිතීමට තරුණ දරුවන් පෙළඹීම ඛේදවාචකයක් බවට පත් වී තිබේ. මේ මාසය ඇතුළත සියදිවි නසාගැනීම් කිහිපයක්ම අසන්නට, දකින්නට ලැබුණු අතර, දරුවන් මෙවැනි තීරණවලට පෙළඹීම සඳහා එක් හේතුවක් ලෙස දෙමාපිය දූ දරු සම්බන්ධතා දුරස් වීම දැක්විය හැකිය.
මේ නිසා දෙමාපියන් ලෙස දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු කාලය එළඹී තිබේ. මේ පිළිබඳ මනෝ වෛද්‍ය මහාචාර්ය හරිස්චන්ද්‍ර ගාම්බීර මහතා දක්වන අදහස් මෙසේය.
''ස්ව කැමැත්තෙන් ජීවිතය හානි කරගැනීම සියදිවි හානි කර ගැනීම ලෙස හඳුන්වන්න පුළුවන්. අද වනවිට පිරිමි පාර්ශ්වය සියදිවි හානි කරගැනීම කාන්තා පාර්ශ්වයට වඩා වැඩියි. නමුත් සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම කාන්තා පාර්ශ්වයේ වැඩියි. එය 10 සිට 20 ගුණය දක්වා වැඩියි. ඒ වගේම තමා අද වනවිට සියදිවි හානි කරගැනීම අනුකරණය කිරීමත් සිදු වී තිබෙනවා. එය copycat suicide ලෙස හඳුන්වනවා.
ඒ වගේම අද ප්‍රශ්නයකට මුහුණදුන්නම බොහෝ දෙනෙක් හිතන්නේ ඒ දේවල්වලට විසඳුමක් නැහැ කියලා. ඒකට පොදු විසඳුම සියදිවි හානි කරගැනීම ලෙස ඒ අය දකිනවා. මේකට කියනවා Common problems, common Solution කියලා. මාධ්‍ය මගින් ඒ දේවල් උලුප්පා දැම්මම ඒ ක්‍රමය අනුගමනය කිරීම වැඩියි.
ඒ බව අපට පැහැදිලි වෙනවා මේ මාසය තුළ සිදු වුණු සියදිවි හානි කර ගැනීම් ප්‍රමාණය බැලුවම. ඒ වගේම මෙයට හොඳම උදාහරණයක් තමා මාතර නිල්වලා ගඟට පැනීම. ඒක පුරුද්දක් වගේම අද වනවිට නිල්වලා ගඟ ඒ සඳහාම ප්‍රසිද්ධ වී තිබෙනවා.
ඒ වගේම තමයි සියදිවි හානි කරගන්න අයගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් ඒ ගැන කලින් කියනවා. සාමාන්‍ය සමාජයේ තියෙන විශ්වාසයක් තමයි සියදිවි හානි කරගන්නවා කියන අය සියදිවි හානි කරගන්නෙ නැහැ කියන එක.
නමුත් සියදිවි හානි කරගත් අයගෙන් 80%ක් දෙනා කලින් කාටහරි කියලා තියෙනවා. ඒ වගේ දෙයක් පැවසුවාම ඒ පිළිබඳ සැලකිලිමත් නොවීම නිසාම ඒ අය ඒ ක්‍රියාමාර්ගය ගන්නවා. ඒකට සැලකිලිමත් වුණා නම් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.
දෙවෙනි කාරණය තමා සියදිවි හානි කරගන්න අයගෙන් 50%ක් පමණ විශාදය කියන මානසික රෝගයෙන් පෙළෙනවා. ඒ වගේම ලංකාවේ මානසික රෝග සාක්ෂරතාව කියන දේ අඩුයි. මේ මානසික පීඩනය සහ විශාදය කියන දේ ලේසියෙන් තේරුම් ගන්න බැහැ. මේ රෝග තත්ත්යයේදී ඇති වන ප්‍රධානම වෙනස්කම හැසිරීමේ වෙනස්කමයි.
නමුත් අද වනවිට දෙමාපිය දූ දරු සබඳතා දුරස් වී ඇති නිසා දරුවන් තුළ සිදු වන මේ වෙනස් වීම දෙමාපියන්ට හඳුනාගන්න නොහැකි වී තිබෙනවා. එහෙම තේරුම්ගත්තත් එය මානසික රෝගී තත්ත්වයක් කියා තේරුම්ගන්නෙ නැහැ. ඒ වගේම එවැනි රෝග තත්ත්වයක් දරුවාට තිබෙනවා කියා දැනගත්තත් ඒ දේට වෙනස් ප්‍රතිකාර තිබෙන බව ඔවුන් දන්නෙ නැහැ.
අනෙක් දේ තමා මෙලෙස මානසික රෝගයක් තිබෙන බව දැනගත්තත් මානසික රෝග සම්බන්ධ වෛද්‍යවරයෙක් ළඟට යන්නෙ නැහැ. එහෙම ගියොත් ඒ දේ ඔවුන්ගේ ජීවිතයට කැළලක් කියා සිතන නිසා.
විශේෂයෙන් ඒකට හේතුවක් තමා විවාහ වීමට යාමේදී ඒක ප්‍රශ්නයක් වෙනවා මේ අය මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත් කෙනෙක් කියා දැනගත්තොත්. එවැනි සිතුවිලි නිසාම අපට නැතිවුණු තරුණ ජීවිත අපමණයි.
මානසික පීඩනය එන්න එන්න සමාජයේ වැඩි වෙනවා. දැනට විශාදය කියන රෝගය තිබෙන්නේ ලෝකයේ බරපතළ රෝගවලින් හතරවෙනි ස්ථානයේ. 2020 වනවිට විශාදය කියන මානසික රෝගය පළමු තැනට එනවා. ඒ කියන්නෙ විශාදයෙන් පෙළෙන රෝගීන් ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. එයට හේතුව තමා සමාජ, ආර්ථික සහ නාගරීකරණ වෙනස්කම් සහ විෂමතා වැඩිවීම.
ඒ නිසා විශාදය වැඩි වෙන්න වැඩි වෙන්න විශාදය තිබෙන රෝගීන්ගෙන් 20%ක් පමණ සියදිවි නසා ගන්නවා. මේ නිසා හැමවිටම දෙමාපියො වශයෙන් තමන්ගෙ දරුවන්ගෙ සිදුවන වෙනස්කම්, මානසික සංකුලතා හඳුනා ගෙන ඒ සඳහා පිළියම් කරන්න අවශ්‍යයි.
ඒ වගේම අද වන විට පවුල් අතර සහසම්බන්ධතාව අඩු වී තිබෙනවා.
එයට හේතුවක් තමා අද බොහෝ දෙනා ජීවත්වන්නෙ ජාලගත සමාජයක. ඒකට කියනවා network Society කියලා. ඒකට සන්නිවේදනය යුගය කියලත් හඳුන්වනවා. මේ තත්ත්වයේදී පවුලක් අතර තිබෙන සහසම්බන්ධතාව බිඳෙනවා, දුරස් වෙනවා. එවැනි හේතුත් බලපානවා මෙලෙස සියදිවි නසාගැනීම්වලට.
ඒ වගේම තමා සමාජ ආර්ථික රටාව වෙනස් වීම නිසා හුදෙකලා බව වැඩි වී තිබෙනවා. ඒ නිසාම අද වනවිට දෙමාපියන් සහ දූදරුවන් අතර තිබෙන සබඳතාව අඩු වෙලා තිබෙනවා. ඒ බැඳීම අඩු වෙන්න, අඩු වෙන්න ළමයින්ගේ හුදෙකලා බව වැඩි වෙනවා. නමුත් මේ ළමයින්ට සමාජ ජාලවල අනන්තවත් මිතුරු මිතුරියන් ඉන්නවා.
නමුත් එහි අපේ සංස්කෘතියෙ තිබුණු සමාජ සහසම්බන්ධතාව නැහැ. මේ නිසා හුදෙකලා බව වැඩි වීම නිසා ඔවුන්ට ප්‍රශ්නයක්, ගැටලුවක් මතු වුණොත් ඒවා විසඳන්න ලැබෙන සහයෝගය අඩු වෙනවා. ඒ නිසාම එයට විසඳුමක් ලෙස ඔවුන් සියදිවි නසාගැනීම තෝරාගන්නවා. ඒ නිසා මේ සම්බන්ධව දෙමාපියන් විදියට අවධානය යොමු කරලා නිතර තමන්ගෙ දරුවන් ගැන අවධානයෙන් ඉන්න අවශ්‍යයි.
දරුවන් දෙමාපියන්ගෙන් ඈත් වෙන එක වළක්වාගන්න අවශ්‍යයි. නිතරම දරුවට යාළුවෙක් ලෙස කටයුතු කරන්න අවශ්‍යයි. සෑම දෙයක්ම තමන් සමග විවෘතව කතා කරන්න පුළුවන් බව දරුවන්ට ඇඟවීම අවශ්‍යයි. එසේ සිදු කළොත් මේ වගේ වෙන සිද්ධි බොහොමයක් අඩු කරගන්න පුළුවන්.
ඒ වගේම අද වනවිට දෙමාපියන්ගේ සංස්කෘතිය හා දරුවන්ගේ සංස්කෘතිය අතර විශාල වෙනසක් තිබෙනවා. එයත් අද වනවිට මේ දෙමාපිය දූදරු සම්බන්ධතා අඩු වෙන්න හේතුවක් වෙනවා.
ඒ වගේම මේ දේත් මතක් කරන්න අවශ්‍යයි. දරුවෙක්ට යම් ගැටලුවක් ඇති වුවහොත් සාවධානව ඒ පිළිබද දරුවාගෙන් අසා බලා ඒ අවස්ථාවේ දරුවා සිටින මානසිකත්වය හඳුනාගැනීම අවශ්‍යයි.
ඒ වගේම දරුවා තනි නොකර දරුවාගේ හැසීරීම් රටාව ගැන අවධානය යොමු කරනවා නම් මෙවැනි සියදිවි හානි කරගැනීම් වළක්වාගන්න පුළුවන්. ඔබට අවසාන වශයෙන් පවසන්න තියෙන්නෙ ඔබේ කාර්යයන්ට පෙර දරුවන්ට පළමු තැන දෙන්න. නැතිනම් ඔබට ඔබේ ජීවිතයේ වටිනාම දේ ගිලිහී යන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳ සිහි තබාගෙන කටයුතු කරන ලෙස මම ඔබගෙන් ඉල්ලනවා.''