හාල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පවතින ආර්ථික අහේනිය නිසා දලුකාන ගම්මානයේ ආදිවාසි පවුල් 10 කට ආසන්න පිරිසක් දින කිහිපයක සිට දිඹුලාගල කන්ද සහ අවට කැලෑ පීරා මහ පොළොව හාරමින් කටු අල, ඇතුළු අල වර්ග ගෙනවිත් තම දරු පැටවුන් සමග බත් වෙනුවට තම්බාගත් අල වර්ග වලින් කුස පුරවා ගැනීමට සිදුව ඇති බව දලුකාන ආදිවාසී පවුල් සඳහන් කරති.
පවතින ආර්ථික අර්බුදය හමුවේ රුපියල් දෙසීයක් දීලා හාල් කිලෝවක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයට ආදිවාසී ජනතාව පත්ව ඇති බවත් මේ දිනවල කුලීවැඩ නොමැති නිසාත්, අඛණ්ඩව පැය කිහිපයක් විදුලිය කැපීම නිසා විදුලියෙන් වැඩ සිදුකරන ආයතන වලට කම්කරුවන් ලෙස වැඩට නොගන්නා මට්ටමක් උද්ගතවී ඇති වී ඇති බවද දලුකාන ආදිවාසි නායිකාව වන තිදරු මවක වන 58 වියැති කේ.ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය.
කුඹුරු ඉඩම් ද නොමැති දිඹුලාගල කොට්ටාසයේ දලුකාන, යක්කුරේ, ඉහළ යක්කුරේ, ඇල්ලේවැව මහදමන, කුඩාවැව, කොළකන වාඩිය, ඇතුළු ගම්මාන 8 ක තම ආදිවාසි පවුල් වෙනුවෙන් මෙලෙස අදහස් දැක්වූ දලුකාන ආදිවාසි නායක කේ ලිසී නෝනා මහත්මිය මෙලෙස ද සඳහන් කළාය.
අපි දැන් දින දෙක තුනක ඉඳලා දිඹුලාගල කන්දේ වගේම කැලෑවල් පීරලා කටුවල හොයාගෙන ඇවිල්ලා තම්බලා තමයි පොල් කෑල්ලක් එක්ක දරුවන්ට දුන්නේ. අලවර්ග, කොළ වර්ග, කැලෑ ගෙඩි වර්ගවලින් අපේ ආදී මුතුන් මිත්තෝ බඩ පුරවා ගත්තා. . නමුත් වත්මන් පරපුරේ අය බත් කාලා හුරුවෙලා, තුන්වේලටම බත් කන්න ඕනේ. ඒත් හාල් කිලෝවක් ගන්න තරම් අපිට වත් කමක් නෑ. අපිට කුඹුරු ඉඩම් නෑ. ඒ නිසා දලුකාන ගම්මානයේ ආදිවාසි පවුල් අටක්, නමයක්, විතර මේ දිනවල කැලෑ වල ගිහිල්ලා දිඹුලාගල කන්දේ ගිහිල්ලා තියෙන කෑමට සුදුසු හැම අල වර්ගයක්ම හාරාගෙන ඇවිත් තමයි මේ දින දෙක තුන ජීවත්වුණේ.
රජයෙන් කියලා අපිට කිසිම සහනයක් ලැබුණේ නැහැ. අපි අපේ දුක්ගැනවිල්ල ආදිවාසී නායක ඇත්තන්ටත් ඉදිරිපත් කළා. හෙට, අනිද්දා ,අපිට කියලා අවුරුද්දක් එනවා. මේ දරුවන්ට කිරිබත් කෑල්ලක්වත් කන්න හාල් ටිකක් අපිට නැහැ. අලුත් ඇඳුමක් ගන්න විදිහක් නෑ. අපි ඉල්ලා සිටිනවා පුලුවන්නං රජයෙන් අපිට මොනවා හරි සහන දෙන්න කියලා. ආදිවාසී නායකා ලිසීනෝනා මහත්මිය එලෙස තම වර්ගයාගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළාය.
;අපි මහත්තයෝ ගෑස් පෝලිම් වල නං යන්නෙ නෑ. අහල පහල කැලේට ගිහිල්ලා දර මිටියක් ගෙනවිල්ලා තමයි ලිපේ තියෙන දෙයක් උයාගෙන කන්නේ. සමහර අය මොනරාගල කුලියට බඩ ඉරිඟු කඩන්න යනවා දැන් ඒවත් නැහැ. ඉතිං පුළුවන්නං අවුරුද්දට අපිට අපේ දරුවන් එක්ක සතුටින් ඉන්න යම් සහන මල්ලක් දෙන්න කියලා, මේ රටේ හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා යැයි ද ලිසී නෝනා මහත්මිය හඬා වැලපෙමින් සඳහන් කළාය.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ආදි වූ ආදිවාසී ජනතාවගේ මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ පැහැදිලි කළ දලුකාන ගම්මානයෙ සිවුදරු පියකු වන 70 වියැති රෝසප්පුගේ පුංචි බණ්ඩා මහතා මෙලෙස කීවේය,
අපේ තාත්තලා අම්මලා ඉස්සර කැලෑ පොජ්ජේ මංගච්චල තමයි අල පොජ්ජ කොටා බෑවේ, දැන් ඉන්න කැකුලු කැකුලියන්ට අල, කොළ, ගෙඩි කොටා බාලා පුරුදු නෑ, එවුන්ට තුන් වේලම බත් තමයි ඕනේ, ඉතින් මම හාල් කිලෝවක් රුපියල් දෙසීයකට අරන් ඇවිල්ලා උන්ට එක් වේලක් කන්න දීලා කටුවල කන්නත් පුරුදු කරනවා, අපිත් දැන් ආයෙත් ඒ කාලෙට හුරුවෙලා කැලෑ කොළ, අල, කාලා කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. මේවා වස විස නැති නිසා අපිට ලෙඩ දුක් නෑ. කැලෑ කොළ, ගෙඩි, අල, කාලා ඉන්න කොට ආයුෂ වැඩි වෙනවා. මට දැන් අවුරුදු හැත්තෑවක් වෙනවා කිසිම ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් පෙත්තක් බීල නෑ තවම. අපේ අම්මලා තාත්තලා ඒ කාලේ දුන්නෙ මේ කැලෑ කොළ ගෙඩි තමා, අපි ඉල්ලා සිටිනවා ආදිවාසී ජනතාව ගැන මීට වඩා සැලකිල්ලක් දක්වලා කුමන හෝ සහනයක් දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
මනම්පිටිය නිමල් ජයරත්න