හමුදා ප්‍රධානීන් නායකත්වය ප්‍රගුණ කළ යුතුයි


අපේ ශ්‍රේෂ්ඨ ජාතිය මුහුණ දෙන නව ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා අනාගත හමුදා නායකයන් අතර, නායකත්ව ගුණාංග වර්ධනය කිරීමට අවශ්‍ය බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (13දා)  පැවැති සන්නද්ධ හමුදා මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ගේ නායකත්ව සම්මන්ත්‍රණය අමතමින් හෙතෙම මේ බව පැවසීය.

අපේ ශ්‍රේෂ්ඨ ජාතිය, තම හමුදාවෙන් සම්පූර්ණ අවංකභාවය සහ අඛණ්ඩතාව අපේක්‍ෂා කරන අතර, එය ආරක්‍ෂාව සහ භෞමික අඛණ්ඩතාව සුරැකීමට ඉවහල්වන බවත්, අවංක නායකයින් දෙබිඩිභාවයෙන් හෝ කුහකත්වයෙන් පීඩා විඳින්නේ නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

‘Military Leadership in the Contemporary World: Evolving from a Warrior to a Friend in Need’  යන තේමාව යටතේ පැවැති සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වූ අතර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙය පැවැත්විණි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් අජිත් දිසානායක යන මහත්වරුන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසක් මෙම සම්මන්ත්‍රණයට එක්ව සිටියහ.



Recommended Articles