සෙල්ලකතරගම වල්ලි අම්මා කෝවිලේ නිදන් හෑරීමක්


රජයට සම්බන්ධ අන්තවාදී දේශපාලනඥයෙකු විසින් ක්‍රි.පූ. දෙවැනි සියවසට අයත් සෙල්ලකතරගම වල්ලිඅම්මා රජමහා විහාරස්ථානයට අනුබද්ධ වල්ලිඅම්මා කෝවිලේ මහාපරිමාණ වශයෙන් නිධන් හාරමින් සිටින බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (10දා) පැවසූහ.

පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානයක් ලෙස ගැසට් කර තිබෙන වල්ලිඅම්මා කෝවිලේ සිදුවන මෙම නිධන් ජාවාරම සම්බන්ධව කතරගම පොලිස් ස්ථානයට පැමිණිලි කළද, එම පැමිණිලි භාර නොගන්නා බවත්, මෙම ජාවාරම සම්බන්ධව නීතිඥවරුන් පිරිසක් විසින් තංගල්ල අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කළ විනිසුරුවරයා හේතුවක් නොදන්වා හදිසියේ ස්ථාන මාරු කර තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, පුරාවිද්‍යා විෂය භාර ඇමතිවරයාගේ සහ නීතිය හා සාමය භාර ඇමතිවරයාගේ විශේෂ අවධානය යොමුවිය යුතු බවද එහිමියෝ  ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ, මෙම නිධන් මංකොල්ලය මහාපරිමාණ වශයෙන් සිංහල බෞද්ධ උරුමය විනාශ කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින අන්තවාදී කණ්ඩායමක තවත් විනාශයක් බවයි.

ඡායාරූප ශමීර රාජපක්ෂ



Recommended Articles