සුරකිමු ගංගා ව්‍යාපෘතිය සැබෑ පරිසර ව්‍යාපෘතියක් වේවිද?


අද වනවිට සමාජයේ විවිධ පාර්ශ්වයන්ගේ දැඩි අවධානයට ලක්වී ඇති කාරණයක් ලෙස පරිසර විනාශය පෙන්වා දිය හැකිය. මේ නිසා ආණ්ඩුවේ දේශපාලනඥයන්, සිවිල් සංවිධාන මෙන්ම ස්වාධීන පුරවැසියන් අතරද විවිධ මත ගැටුම් ඇතිවෙමින් තිබේ. ඇතැම් විට සෑම කරුණක්ම හුදෙක් දේශපාලනික කාරණාවක් බවට ඒත්තු ගන්වන අවස්ථා ද තිබේ. එසේම පරිසරය වෙනුවෙන් නොයෙක් ව්‍යාපෘති හඳුන්වා දීමද සිදුවෙයි. මේ සඳහා යොදා ගන්නේ මහජන මුදල්ය. එහෙයින් ඒ් සම්බන්ධයෙන් සොයා බැලීම සැමගේ වගකීමකි.

ගංගා සංරක්ෂණය තුළින් ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීම, පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කිරීම මෙන්ම සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය  මගින් ක්‍රියාත්මක කෙරෙන %සුරකිමු ගංගා^ ජාතික වැඩසටහනේ ආරම්භය සඳහා පමණක් විශාල මුදලක් වියදම් වී ඇති බව තොරතුරු දැනගැනීමේ පනත මගින් මධ්‍යම පරිසර අධිකාරියෙන්  ලබාගත් තොරතුරු අනුව අනාවරණය කරගැනීමට හැකි විය.

ගංගා පද්ධතීන් අතිශයින්ම පවිත්‍ර කළ යුතු කාරණාවක් සේම එය කාලයක් තිස්සේ පවතින අතිශයින්ම සොයා බලා කඩනමින් විසඳුම් සෙවිය යුතු විශාල සමාජ ගැටලුවක් ලෙසද පෙන්වා දිය හැකිය. නමුත් එය යථාර්ථයක් බවට පත්කිරීම පසෙකලා උත්සව හා ප්‍රවර්ධනය වෙනුවෙන් මහජන මුදල් භාවිත කිරීම බරපතළ තත්ත්වයකි.

ඒ අනුව 2021 මාර්තු මස 22 දින ආරම්භ කෙරුණු 'සුරකිමු ගංගා' ජාතික වැඩසටහනේ සමාරම්භක ප්‍රධාන උත්සවය කතරගමදී පැවැත්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු තවත් මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් රාශියකගේ සහභාගීත්වයෙනි. එමෙන්ම එම උත්සවයට සමගාමීව තවත් පළාත් අටක පළාත් උත්සව 08ක්ද පවත්වන ලදී.

මහා භාණ්ඩාගාරයෙන් පරිසර අමාත්‍යාංශය වෙත ලබාදෙන ප්‍රතිපාදන මගින් 'සුරකිමු ගංගා' ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ සඳහා මිලියන 200ක් වෙන්කර තිබෙන අතර, එහි මූලික අදියරේ කටයුතු වෙනුවෙන් ලබාදී ඇත්තේ රුපියල් මිලියන 11ක මුදලකි.

මේ ආකාරයෙන් ගංගා පද්ධති සුරක්ෂිත කරලීමේ අරමුණින් මූලික අදියරේ කටයුතු වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 11 (එක් කෝටි දසලක්ෂය) තුළින් රුපියල් මිලියන අටකට වඩා එනම් රුපියල් අසූනවලක්‍ෂ තිස්පන්දහස් දෙසිය පනස්හතක මුදලක් වෙන්කර තිබෙන්නේ 'සුරකිමු ගංගා' වැඩසටහනේ උත්සව කටයුතු සහ ප්‍රචාරණ මෙන්ම  ප්‍රවර්ධන කටයුතු වෙනුවෙනි. එය පළමු සමාරම්භක කටයුතු වෙනුවෙන් ලබාදුන් මුදලින් සියයට අසුනවයකි.

එක්දින උත්සව සඳහා ලක්ෂ 47ක්

මෙහිදී කතරගමදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති 'සුරකිමු ගංගා' ජාතික වැඩසටහනේ සමාරම්භක ප්‍රධාන උත්සවය වෙනුවෙන් පමණක් රුපියල් 3,559,600 මුදලක් යොදවා ඇති අතර එම මුදල් යොදවා ඇත්තේ උත්සව කළමනාකරණය, නිවේදන කටයුතු මෙන්ම නර්තනාංග හා ආහාරපාන කටයුතු වෙනුවෙනි. එමෙන්ම 'සුරකිමු ගංගා' ජාතික වැඩසටහනට සමගාමීව අනෙකුත් පළාත් අටක පැවැති පළාත් උත්සව හා සමාරම්භක කටයුතු වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් රුපියල් 150,000 බැගින් රුපියල් 1,200,000ක මුදලක් වැයකර තිබේ. ඒ අනුව %සුරකිමු ගංගා^ ව්‍යාපෘතියේ සමස්ත එක්දින උත්සව වියදම රුපියල් 4,759,600කි.

මේ ආකාරයෙන් විශාල මුදලක් උත්සව කටයුතු වෙනුවෙන් යොදවා ආරම්භ කෙරුණු  %සුරකිමු ගංගා^ ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර නොමැතිවීම කනගාටුවට කරුණකි. සිදුකර ඇත්තේ එක් සංදර්ශනයක් පමණක් බව ඒ සම්බන්ධයන් සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වූ දෙයකි.

නිදසුනක් ලෙස දකුණු පළාත් උත්සවය පැවැති අම්බලන්තොට වලවේ ගඟ කේන්ද්‍ර කරගත් උත්සවය පෙන්වා දිය හැකිය. මෙම උත්සවය සඳහාද පෙර පෙන්වා දුන් ආකාරයට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබාදී ඇති අතර, උත්සවයෙන් අනතුරුව ගඟේ පවිත්‍ර කිරීම් දක්නට ලැබුණේ දින දෙකක පමණ කාලයකදී පමණය. එයද වලවේ ගඟේ ස්ථාන කිහිපයක ජපන් ජබර ඉවත් කිරීම පමණි. ඊට වැඩි යමක් එම මුදලින් කළ නොහැකිකම නිසා එම ක්‍රියාවලියද මේ වනවිට නතර කර තිබේ.

'සුරකිමු ගංගා' වැඩසටහන යටතේ ගංගා පවිත්‍ර කිරීම සඳහා නිසි අයුරින් මේ වනවිටත් ව්‍යාපෘති වාර්තා සකස්කර නොමැති බවද තොරතුරු දැනගැනීමේ පනත මගින් මධ්‍යම පරිසර අධිකාරියෙන් ලද තොරතුරු අනුව පැහැදිලි වූ කාරණාවක් වේ. ඒ බව අනාවරණය වූයේ 'සුරකිමු ගංගා' වැඩසටහන යටතේ අම්බලන්තොට වලවේ ගඟ පවිත්‍ර කිරීම සඳහා ලබා දී ඇති මුදල හා වෙන්කර ඇති මුදල සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීය. එහිදී ලබාදුන් පිළිතුර වූයේ දැනට වලවේ ගඟ පවිත්‍ර කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කර තිබෙන ප්‍රාදේශීය කමිටුව මගින් විධිමත් ව්‍යාපෘති වාර්තාවක් ලැබී නොමැති නිසා මේ වනවිට මුදල් වෙන්කිරීමක් සිදුකර නොමැති බවයි* ඒ මගින් තහවුරු වන්නේ මෙය නිසි සැලසුමක් නොමැතිව ක්‍රියාත්මක කළ කටයුත්තක් බව නොවේද?

'සුරකිමු ගංගා' ප්‍රචාරණයට ලක්ෂ 41ක්

රාජ්‍ය උත්සව හා ප්‍රචාරණයන්ට විශාල මුදලක් නාස්ති කිරීම් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ  දේශපාලනඥයන් අතර දේශපාලනික වශයෙන් ආණ්ඩු මාරු වනවිට දැඩි විවේචන තිබේ. ඒ අයුරින් පසුගිය යහපාලන සමයේදී නිවාස අමාත්‍යාංශය මගින් මෙන්ම සමෘද්ධි සංවර්ධන අධිකාරිය මගින් ප්‍රචාරණ කටයුතු සහ උත්සව සඳහා  සිදු කළ විශාල මුදල් නාස්තිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් සිදු කළ අනාවරණ හමුවේ එය දැඩි සේ විවේචනයට ලක්වූ අතර, එකල විපක්ෂයේ සිටි වර්තමාන රජයේ මැති ඇමතිවරුන්ද එය දැඩි සේ විවේචනය කරන ලදී.

එවන් පසුබිමක 'සුරකිමු ගංගා' වැඩසටහනේ දැන්වීම් හා ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මේ වනවිට රුපියල් 4,175,657ක මුදලක් යොදවා අවසන්ය. මේ ආකාරයෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වඩා ප්‍රවර්ධනය හා උත්සව කටයුතු වෙනුවෙන් සිදු කළ මුදල් නාස්තිය හේතුවෙන් %සුරකිමු ගංගා^ වැඩසටහන වෙනුවෙන් වෙන්කර තිබෙන සම්පූර්ණ මුදල වන  රුපියල් මිලියන 200ක  මුදලින් මේ වනවිටත් සියයට හතරක මුදලක් වැය වී අවසන්ය. ඉහත පෙන්වා දුන් සියලු වියදම් ඍජු වියදම් වන අතර මෙම උත්සවය සඳහා පැමිණෙන දේශපාලනඥයන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රවාහන, ආරක්ෂක වියදම් ඇතුළු පහසුකම් වෙනුවෙන්ද තවත් විශාල මුදලක් වක්‍ර ලෙස වැය වන අතර එය ගණනය නොකෙරුණත් ඒ වෙනුවෙන් යොදවන කාලයේ වටිනාකමද අසීමිතය. ඒ සියලු දේ සඳහා යොදවනු ලබන්නේ මහජන මුදල් බව බොහෝ දෙනෙකුට අමතක වීම බරපතළ තත්ත්වයකි.

කෙසේ නමුත් මේ සියලු කාරණා සම්බන්ධයෙන්  මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙවන් අදහසක්,

'සුරකිමු ගංගා' වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා සියලු කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සඳහා මේ වනවිට යෝජනා ලබාගැනීම සිදුකරනවා'

එමෙන්ම මෙම වැඩසටහන ආරම්භයට පෙර සැලසුම් හා යෝජනා නොගත්තේ ඇයිද යන්න පිළිබඳ විමසූ විට සභපතිවරයා පවසා සිටියේ &අපිට ඕනෑකම තිබුණේ මේක ලෝක ජල දිනයට පටන් ගන්න විතරයි. මිලියන 200ක් වෙන් කරගෙන අපි මුලින් මේ ව්‍යාපෘතිය පටන් ගත්තා. මුළු ගඟටම ව්‍යාපෘති වාර්තා හදලා පටන්ගන්න ගියා නම් මේ වසරේ මේක පටන්ගන්න වෙන්නේ නෑ* යනුවෙනි.

එමෙන්ම උත්සව සම්බන්ධයෙන් කළ වියදම් සම්බන්ධයෙන් විමසූ විට අමරසිංහ මහතා පවසා සිටියේ ඒ සඳහා එතරම් මුදලක් යොදවා නොමැති බවයි.

'මෙහි කිසිම වැඩක් නැති වියදමක් දරල නෑ. ඒ වගේම මෙහෙම ප්‍රචාරණයක් නොකළා නම් රටේ මිනිස්සු දන්නේ නෑ මෙහෙම ගංගා සුද්ද කරන්න ඕන කිලිටි කරන්න හොඳ නෑ කියලා' යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා පවසා සිටියේය.

'සුරකිමු ගංගා' ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

'ලබන වසරේ තමයි මේකේ සංවර්ධන කටයුතු කෙරෙන්නේ. මේ වසරේ කෙ‌ෙරන්නේ මේකේ සැලසුම් හදන එක. මේ මිලියන දෙසීය වෙන් කළේ මේකේ පොඩි පොඩි වැඩ කරන්න. මේක ලොකු ව්‍යාපෘතියේ එකක් විතරයි. මේක අවුරුද්දකින් නවතින එකක් නොවේ. මේක 2024, 2025 පමණ වනවිට අවසන් වෙන්න ඕනේ, මේකෙදී ගංගා රක්ෂිත  දෙපස සිටින මිනිසුන් නිකන් අයින් කරන්න වෙන්නේ නෑ. ඔවුන්ට වන්දි ගෙවන්න වෙනවා නැත්නම් ඉඩම් දීලා ගෙවල් හදලා දෙන්න වෙයි. ඒ නිසා මේ ප්‍රායෝගික ප්‍රශ්නත් මග හැරගෙන ඕන මේක කරන්න' යනුවෙන් පවසා සිටියේය.

ගංගා රක්ෂිත සුරැකිය යුතු අයුරු

විශේෂයෙන්ම ගංගා පද්ධතියක් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගංගා රක්ෂිත සුරක්ෂිත කළ යුතුය. ගංගා රක්ෂිත සම්බන්ධයෙන් 1930 මෙන්ම 1949දී පනත් කෙටුම්පත් සකස් විය. එහිදී 1949දී රජයේ ඉඩම් අඥා පනතේ ජල මාර්ගයන්හි රක්ෂිත වෙන්කිරීම සිදු විය. ඒ අනුව පතුලේ පළල අඩි 10ට වඩා අඩු නම් ඉවුරේ සිට අඩි 16ක් පළල් කළ යුතුය. පතුලේ පළල අඩි 10 සිට 25 දක්වා නම් එම ප්‍රමාණය අඩි 33ක් දක්වාද, 25 සිට 50 දක්වා නම් අඩි 66ක්ද, 50 සිට 75 දක්වා නම් අඩි 66ක් දක්වාද රක්ෂිත පළල් විය යුතුය. නමුත් මේවා නීති, පොත්වලට පමණක් සීමා වී තිබේ. ඒ නිසාම අද වන විට ලංකාවේ ජල මාර්ග රක්ෂිතයන්හි විවිධ අනවසර ඉදිකිරීම් වර්ධනය වෙමින් තිබේ. මෙහිදී සිදුවන විවිධ මානව ක්‍රියාවන් නිසා  විශාල වශයෙන් ජල මාර්ග අපවිත්‍රවීම සිදු වේ.

මේ තත්ත්වය ඇතිවී ඇත්තේ කාලාන්තරයක් තිස්සේ ඇති වූ ක්‍රියාවලියක් තුළය. නමුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු අංශ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම හේතුවෙන් එය සමාජ ප්‍රශ්න, පාරිසරික ප්‍රශ්න දක්වා උත්සන්න වීමෙන් අනතුරුව ඒ සඳහා මිලියන ගණනක ජනතා මුදල් යොදවා දේශපාලනික පිළියම් යොදනු ලැබේ.

ඒ සඳහා කදිම නිදසුන් සපයන වලවේ ගඟේ රක්ෂිත ප්‍රදේශය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මායිම් ගල්වලට පමණක් සිමා වී තිබියදී තවත් පිරිසක් තම බලපුළුවන්කාරකම් අනුව බලධාරීන්ගේ හා දේශපාලනඥයන්ගේ ආශීර්වාදය ලබාගනිමින් රිසි සේ තම ස්ථිර ඉදිකිරීම් සිදුකරන්නේ රටේ පවතින නීතිය සැමට සමාන බව බිඳලමිණි. මෙය රටේ බොහොමයක් ගංගා රක්ෂිත තුළ දක්නට ඇති පොදු තත්ත්වයකි.

කළ යුත්තේ කුමක්ද?

විශාල මුදල් කන්දරාවක් යොදාගනිමින් විවිධ ව්‍යාපෘති සකස්කරනු ලැබුවත් එම පද්ධතීන් සුරක්ෂිත කිරීම සඳහා අදාළ වගකිවයුතු රාජ්‍ය ආයතන නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා  ගංගා හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතීන් සුරක්ෂිත කිරීම තුළ ගැටලුසහගත තත්ත්වයක් මතුවී තිබේ. ඒ සම්බන්ධයෙන් රජයේ ආයතන සඳහා ඇති බලතල මෙන්ම ක්‍රියාත්මක විය යුතු ආකාරයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙකු වන ආචාර්ය නීතිඥ ජගත් ගුණවර්ධන මහතා,

'ලංකාවේ සමහර පරිසර හා වෙනත් පද්ධති තියෙනවා. එක නීතියක් එක ආයතනයක් කියලා නැතිව එක එක ආයතන සඳහා විවිධ වෙනස් වගකීම් පවරලා තියෙන. ඒ වගකීම් සමුදායම සාර්ථක වුණොත් තමයි එම පරිසර හෝ වෙනත් පද්ධතීන්ට ආරක්ෂාව ලැබෙන්නේ. ගංගාවල් පැත්තෙන් ගත්තත් මේකම තමයි කාරණාව මොකද ගංගාවක් කියන්නේ ඉතා දිග ප්‍රදේශයක් ඔස්සේ ගලා බසින ජල මාර්ගයක්. එතකොට මේකේ තියෙන ජලයේ ගුණාත්මකභාවයත් පසත් ආරක්ෂා කර ගැනීමට විවිධ පනත් මගින් විවිධ ආයතනවලට වගකීම් පවරලා තියෙනවා. ඒ නිසා මේ ආයතන සම්බන්ධීකරණය කරලා ඒ දේ ඉෂ්ට කර ගන්න ඕන තත්ත්වයක් තමයි මම දකින්නේ.

ඉහළ කඳුකරයේ ඇති ජල පෝෂක සහ ඒ ජල පෝෂකවලට ආසන්නයේ ඇති භූමිවලින් සිදුවන හානිය වළක්වන්න පාංශු සංරක්ෂණ පනතේ ප්‍රතිපාදන තියෙනවා. ඒ නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු වගකීමක්. එමෙන්ම ජලයේ ගුණාත්මකභාව ආරක්ෂා කරගැනීමටත් ගඟට කැළි කසළ බැහැරවීම වැළැක්වීමට වගකීම ඇති ආයතන තියෙනවා. එයිනුත් ප්‍රධාන ආයතන වන්නේ ඒ ප්‍රදේශවල තියෙන පළාත් පාලන ආයතන. එමෙන්ම මධ්‍යම පරිසර ආධිකාරියට ජල දූෂණය වැළැක්වීම සඳහා ප්‍රතිපාදන තියෙනවා. ඊළඟ කාරණය තමයි මේ ගංගාවල් බොහොමයක් වාරිමාර්ග අඥා පනතින් ආරක්ෂා වෙලා තියෙනවා, ජල දූෂණය, ජලයට අපද්‍රව්‍ය එකතු කිරීම ආදිය සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කරන්න. ඒ වගේම රජයේ ඉඩම් අඥා පනතේ ප්‍රතිපාදන අනුව සෑම ගංගාවකම ගඟ පතුල අයිති වන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාට හා දිස්ත්‍රික් ලේකම්වරයාට. ඒ නිසා ගඟක් ආරක්ෂා කරගැනීමේදී ආයතන ගණනාවක් සඳහා වගකීම් පැවරිලා තියෙනවා. මේ අය හැම කෙනෙක්ම එකතුවෙලා තම තමන්ගේ වපසරියට අනුව කටයුතු කරනවා නම් අපිට මේ ගංගාවල් ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙනවා' යනුවෙන් පවසා සිටියේය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

 



Recommended Articles