නිවසේ ඇති කරන සුනඛයකු විසින් මහමග වැටී තිබූ මුදල් පසුම්බියක් නිවසට ගෙන ඒමෙන් පසු එය පරික්ෂා කිරීමේදී එහි මුදලින් රුපියල් 7000 ක් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු රන් මාලයක් තිබී හමුවී එය නැවතත් හිමිකරුට ලබාදීමේ සිද්ධියක් මහනුවර අලදෙනිය පොලිස් වසමෙන් වාර්තා වේ.
අලදෙනිය පොලිස් වසමේ කුරුඳුගහමඩ ගෙවල් 20 ප්රදේශයේ වෙළඳසලක් අසල වැටී තිබී ඇති එම මුදල් පසුම්බිය එම ප්රදේශයේම නිවසක ඇති කරනු ලබන සුරතල් සුනඛයකු විසින් ගෙනැවිත් ඇත්තේ ඉකුත් 15 වැනිදා රාත්රි කාලයේය.
සපත්තු සෙරෙප්පු ඇතුළු හසුවන ඕනෑම දෙයක් සපා කන එම සුනඛයා මීටර 200 කින් පමණ දුරකින් යුතු කඩමන්ඩිය සිට අසුලාගෙන පැමිණි එම මුදල් පසුම්බිය ඒ ආකාරයට සපානොකා ඉතාමත් ආරක්ෂාකාරීව පසුදින එළිවන තෙක් තබාගෙන සිටීම පුදුම සහගත බව නිවැසියන් පවසයි .
කෙසේ නමුත් පසුදින (16) පෙරවරුවේ සුනකයාගේ දෙඅත්යට සඟවා ගෙන සිටින්නේ කුමක්දැයි පරික්ෂා කිරීමේදී එය මුදල් පසුම්බියක් බව තහවුරු වීමෙන් පසු එය පරික්ෂා කිරීමේදී ඒ තුළ මුදල් සහ රත්තරන් මාලයක් ඇති බව නිවැසියන් දැක තිබේ .
මුදල් පසුම්බිය තුල තවත් පරික්ෂා කිරීමේදී එහි කොළයක ලියා තිබූ ජංගම දුරකථන අංකයක් දැක එම අංකයට ඇමතීමේදී ඔහුද එම ගම් ප්රදේශයේම පදිංචිකරුවෙකු බවත් ඔහුගේ මුදල් පසුම්බියක් නැති වී ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසු ඔහු නිවසට කැඳවා මුදල් පසුම්බිය ලබාදීමට නිවැසියන් පියවර ගෙන තිබුණේ අලදෙනිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සේනාරත්න මහතාද දැනුවත් කිරීමෙන් අනතුරුවය .
අලදෙනිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සේනාරත්න මහතා අදාල මුදල් පසුම්බිය සහ එහි තිබූ මුදල් සහ රත්රන් ආභරණ නැවතත් හිමිකරුවන්ට ලබා දීමට පියවර ගැනීම සම්බන්ධයෙන් එම නිවැසියන්ට ද ස්තුතිය පළ කිරීමට පියවර ගෙන තිබුණි.
ෂේන් සෙනෙවිරත්න