සාග් ගිය සියල්ලන්ම මවුබිමට


නේපාලයේ පැවති සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද ඊයේ (11)  දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කර තිබුණි .

13 වන සාක් ක්‍රීඩා තරගාවලිය , නේපාලයේ කත්මණ්ඩු නුවර මුල් කර ගනිමින් , ඉකුත් 1වනදා  සිට 10 වන  දක්වා පැවති අතර , එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 783 ක් සහභාගී වූ අතර , ඔවුන් රන් පදක්කම් 40 ක් , රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

ඊයේ  දින රාත්‍රී 10.20 ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4182 දරන විශේෂ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 288 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත කැඳවා ගෙන පැමිණ තිබුණි .

ඔවුන් අතර මළළ ක්‍රීඩා , කබඩි , මල්ලවපොර , පාපන්දු , අත්පන්දු , වෙඩි තැබීම , බොක්සිං , ස්කොස් , ක්‍රිකට් කාන්තා පිරිමි තරග සදහා සහභාගී වූ ක්‍රීඩක පිරිසක් සිටියහ .

මේ අතර මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩක පිරිස දිරිමත් කිරීම සදහා නේපාලය වෙත ගොස් සිටි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද පැමිණි අතර, ගුවන් තොටුපළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් " මේක ඉතිහාසයේ අභිමානවත් අවස්ථාවක් . තවදුරටත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවැනි ජයග්‍රහණ සදහා අවශ්‍ය පහසුකම් සහ සහයෝගය ලබා දීමට කටයුතු කරන බවද පැවසීය .

මෙම ක්‍රීඩක පිරිස අතර , නේපාලයේ දී රෝගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවු  දෙනෙකු රෝද පුටු වල අධාරයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් අතර අමාශා ද සිල්වා , නදීශා රාමනායක , දුලාංජලී රණසිංහ ආදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සිටියහ .

මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩා කණ්ඩායම භාරව එහි ගොස් සිටි වෛද්‍ය නිලධාරී ධම්මික සේනානායක මහතා ද මෙම ක්‍රීඩක පිරිස සමග පැමිණි අතර , එහිදී මෙම රෝගී වූවන් පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය .

“අපි නේපාලයට ගියේ 11/29  දිනයි . නමුත් 12/01 දින ඉදලම රෝගීන් වාර්තා වෙන්නට පටන් ගත්තා ඒ අතර ඩෙංගු රෝගීන් 06 ක් සහ වෙනත් රෝගීන් 03 ක් සිටියා . 

 අපි ඔවුන්ව අපගේ අධීක්ෂණය යටතේ නේපාලයේ පෞද්ගලික රෝහල් වලට ඇතුළු කරලා වෛද්‍ය පහසුකම් ලබා දුන්නා . ටොරිංටන් සහ සුගතදාස ක්‍රීඩා පරිශ්‍ර වලදී , මෙම ක්‍රීඩකයන්ට ඩෙංගු රෝග කාරක ඇතුළු වෙන්න ඇතැයි අපි සැක කරනවා . තවත් එක් ක්‍රීඩිකාවක් මේ වනවිටත් නේපාලයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසු වෙනවා . ඇය වෙනුවෙන් වෛද්‍යවරයෙකු සහ ක්‍රීඩා නිලධාරීන් පිරිසක් ද එරට රැදී සිටිනවා” යැයි ද පැවසීය .

මෙම පිරිස පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඩී.රැවන් චන්ද්‍ර මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් , මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නෑදෑ හිතවතුන් , දෙමාපියන් සහ මෙම ක්‍රීඩකයන් සේවය කරන ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .



Recommended Articles