ස්පර්ශයෙන් තොරව ක්‍රියාකළ හැකි ස්විච්ඡයක් නිර්මාණය කරයි


ස්පර්ශ කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි ස්විච්ඡයක ක්‍රියාකාරී ආකෘතියක් නිර්මාණය කිරීමට මාතර අකුරැස්ස ප්‍රදේශයේ තරුණයකු සමත්වී තිබේ.

රටෙහි පවතින කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් මාතර අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි නිපුන හසංක ගමගේ තරුණයා මෙම නිර්මාණය සිදුකර ඇති අතර ඔහු මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ උපාධියක් හදාරමින් සිටින්නෙකි.

මාර්ග සංඥා කණුවල පදික මාරු අසල සවිකර ඇති බොත්තම්, දොර සීනු ස්විච්ඡ, වීදි ලාම්පු ස්විච්ඡ, විදුලි සෝපාන ස්විච්ඡ ආදී පොදුවේ සමූහයක් විසින් ක්‍රියාත්මක කරන ඕනෑම උපකරණයක් සඳහා මෙම උපකරණය භාවිතා කළ හැකි බව නිර්මාණය සිදුකළ තරුණයා කියයි.

ස්පර්ශ කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි වීම හේතුවෙන් පුද්ගලයන් අතර විෂබීජ පැතිරීම මෙන්ම තෙත් සහිත දෑත් මගින් ස්පර්ශ කිරීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමටද මෙමගින් හැකියාව ලැබෙයි.

අධෝරක්ත කිරණ සංවේදක භාවිතයෙන් මෙය නිර්මාණය කර ඇති අතර අධෝරක්ත සංවේදකයේ සිට සෙන්ටිමීටර 2 - 4 ක් ආසන්නයට අත්ල යොමුකර විට එය සංවේදනයක් ලෙස පරිපථය හඳුනාගනී. ඉන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බව භාවිතා කරන්නාහට ඒත්තු ගැන්වීම සඳහා යොදා ඇති ප්‍රදර්ශක බල්බ එකින් එක ක්‍රමයෙන් දැල්වීම මගින් දැනුම් දෙයි.

සියලුම බල්බ දැල්වෙන තුරු අත්ල ස්විච්ඡය දෙසට යොමාගෙන සිටින්නේ නම් ස්විච්ඡය තත්ත්පරයකට වඩා අඩු කාලයකදී ක්‍රියාත්මක වේ.  පරිශීලකයා අත්ල ඉවත් කරගන්නා තුරු ප්‍රදර්ශක බල්බ නොකඩවා දැල්වීම සිදුවෙයි. වැරැදි ලෙස අහඹු වස්තුවක් සංවේදකය තෘප්ත කළහොත් ඒවා වැරැදි සංවේදක ලෙස හඳුනාගැනීම වැළැක්වීමට උපකරණය ක්‍රියාත්මක කිරීමටත් අක්‍රීය කිරීමටත් කුඩා කාල පමාවක් යොදා ඇති බව නිර්මාණය සිදුකළ තරුණයා පැවසීය.  

අනීෂා මානගේ



Recommended Articles