සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20ක් දිවයිනට


චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත්  ලක්ෂ 20 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

චීනයේ බෙයිජිං නුවරින් අද දින අලුයම 12.15 ට මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් රැගෙන පිටත් වූ , මෙම ගුවන් යානා දෙකෙන් පළමු වැනි ගුවන් යානය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.869 දරන ගුවන් යානය අද දින අලුයම 05.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන  දෙවන විශේෂ  ගුවන් යානය අනෙක් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ත් රැගෙන , චීනයේ බෙයිජිං නුවරින් අද දින අලුයම 01.45 ට පිටත් වී ඇති අතර , එම ගුවන් යානය අලුයම 06.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .

මෙම ගුවන් යානය මේ වනවිට ශ්‍රී ලංකාවේ ගුවන් සීමාවට සමීප වී තිබේ .

ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි මෙම එන්නත් තොගය , මෙම ගුවන් යානා වලින් ගොඩ බෑ පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .

ඉන්පසුව මෙම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ  කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන ගොස් තිබේ .

 



Recommended Articles