වර්තමානය වන විට සමාජමාධ්‍ය ජාල, ගෝලීය වියවුල්තාවන් ඇතිකිරීමට හේතුවනසාම්ප්‍රදායික නොවන බලපෑමක් බවට පත්වඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
'ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂා' යන මැයෙන් ඊයේ (30දා) ආරම්භවූ කොළඹ ආරක්ෂක සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,"ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව යන කාලීනව හා ගෝලීයව වැදගත් මාතෘකාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට මෙවැනි සමුළුවක් සංවිධානය කරමින් ශ්‍රී ලංකාව ලෝක සිතියමේ වැජඹෙන ස්ථානයකට රැගෙන ඒම පිළිබඳ මම ශ්‍රීලංකා යුද හමුදාවට කෘතඥ වෙනවා.21 වැනි සියවසේ සාම්ප්‍රදායික මෙන්ම සාම්ප්‍රදායික නොවන අභියෝග රටක ආරක්ෂාව කෙරෙහි බලපෑම් සිදුකරනවා.
දේශගුණික විපර්යාස, ප්‍රචණ්ඩකාරී මානව ක්‍රියාකාරකම්,දේශපාලන අන්තවාදය,ආගමික අන්තවාදය, තාක්ෂණයේ බලපෑම් ඒ අතර වෙනවා.සමාජමාධ්‍ය ජාල වර්තාමානය වන විට ගෝලීය වියවුල්තාවන් ඇතිකිරීමට හේතුවන සාම්ප්‍රදායික නොවන බලපෑමක් බවට පත්ව තිබෙනවා. ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල ටියුනීසියාව වැනි රටවලට ඇතිකළ බලපෑම් මෙහිදී සඳහන් කළ හැකියි" යැයි පවසා සිටියේය.
රටක සුරක්ෂිතතාව කෙරෙහි භූගෝලීය වෙනස්කම්ද වැඩිවශයෙන් බලපෑම් එල්ලකරන බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
විශේෂයෙන් රටක ජනජීවිතයට මෙන්ම රටක ආර්ථිකය කෙරෙහිද මෙම සාධකය තුළින් බලපෑම් එල්ලකරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා,
"කාලගුණික විපර්යාස ජාතික ආරක්ෂාවට විවිධ අයුරෙන් බලපෑම් එල්ල කරනු ලබනවා. පරිසරයේ ඇතිවන විපර්යාස මිනිස් ජීවිතවලට බලපෑම් එල්ල කරන්නේ යම්සේද, එය රටක ආර්ථිකයටද බලපෑම් එල්ල කරනු ලබනවා. මෙය දියුණුවෙමින් පවතින රටවල් බොහෝමයක් මුහුණ දෙන ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව රටක ශ්‍රම බළකායේ ආරක්ෂාවට, ආර්ථිකයේ ආරක්ෂාවට වගේම දේශපාලනික ස්ථාවරභාවයටද භූගෝලීය වෙනස්කම් බලපෑම් එල්ල කරනු ලබනවා. මුහුදු මට්ටම ඉහළ යෑම, දුර්භීක්ෂ, නියඟ, නාය යෑම්, උෂ්ණත්වය ඉහළ යෑම, සුළිසුළං, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වගේ දේශගුණික විපර්යාස ගෝලීය වශයෙන් මුහුණපාන ගැටලු බවට වර්තමානය වන විට පත්ව තිබෙනවා.
නියඟය, උෂ්ණත්වය ඉහළයෑම, වර්ෂාව මඳකම මෙරට ජනගහනයෙන් 24.3%ක් වන ශ්‍රී ලාංකේය ගොවියන් පීඩාවිඳින තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට,දළදේශීය නිෂ්පාදිතයට7.5%ක දායකත්වයක් දක්වනු ලබනවා. ඒ වගේම රටේ බලශක්ති උත්පාදනයෙන් 40%ක් ජලය මූලික කරගෙන පැවැතීම හේතුවෙන් කාලගුණික විපර්යාසයන් රටේ ජනජීවිතයට මෙන්ම ආර්ථිකයටද බලපෑම් එල්ලකර තිබෙනවා" යැයිද ප්‍රකාශ කළේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු