සඳුන් ගස් 1000ක උයනක්


ඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාඛයක් වන සදුන් ගස් දහසකින් යුත් සදුන් උයනක ඉදිකිරීම් පසුගිය දා ආරම්භ කෙරිණ.

මෙම සදුන් උයන බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඉදිකෙරෙන අතර එය ළඟදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ජාතික සදුන් උයන, අක්කර 09 ක භූමි භාගයක ඉදිකෙරේ. එහි ඉදිකිරීම් කටයුතුවලින් 98% ක් මේ වන විට අවසන්ව ඇත. අප්‍රේල් මාසයේ අග වනවිට මෙහි ඉදිකිරීම් කටයුතු නිමකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.

සිටුවන ලද සදුන් පැළවලට ආධාරක පැළ ලෙස මුගුණුවැන්න පැළ සිටුවා තිබේ. මෙමඟින් පසේ තෙතමනය නොකඩවා රදවාගැනීම සහ සදුන් පැලවලට අවශ්‍ය ජලය රදවා ගැනීම ඉටුවෙයි.

සදුන් ගස්වලට අමතරව විවිධ පැහැයන්ගෙන් යුත් විසිතුරු මල් පැල රැසක් ද මෙහි රෝපණය කර ඇත.

ජාතික සදුන් උයන ගොඩනැගීම අදියර දෙකක් යටතේ සිදුවෙයි. මේ සඳහා පළවෙනි අදියරට රුපියල් මිලියන 132 ක් ද, දෙවන අදියර සදහා රුපියල් මිලියන 162 ක් ද වැයකර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය මෙහි පිරිවැය දරණ අතර නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි.

සඳුන් ගස් වර්ග අතර ඉන්දියානු සහ ඕස්ටේ්‍රලියානු සදුන් වර්ග යනු ලොව වටිනාම සඳුන් ගස් වර්ග දෙකය. සදුන් ගස්වල නිජබිම ලෙස ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ හවායි දූපත් සඳහන් වෙයි.

ලොව මිළ අධිකම තෙල් වර්ගය වන සදුන් තෙල් සහ ඉන්දියානු සදුන් තෙල් සැන්ටලෝල් නම් වටිනා ගුණයෙන් යුතු වේ.

මදක් ගෝලාකාර හැඩයකින් යුත් සදුන් ගසක් වැඩීමට අවම වශයෙන් වසර 15 ක් පමණ ගතවෙයි. ඒ කාලය වන විට සදුන් ගස්වලින් තෙල් ලබා ගැනීමට ද හැකියාව පවතී. ගස පරණ වූ තරමට ලබාගන්නා තෙල්වල වටිනාකමද ඉහළ යයි.

සදුන් තෙල් මෘදුය. උණුසුමය. සිසිලස දෙයි. ක්‍රීම්, කිරි ගතියෙන් යුක්තයි. අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද සූපවේදීන් සදුන් තෙල් ආහාර පිළියෙල කිරිමට යොදා ගැනේ.

හින්දු ආගමේ ශිව දෙවි වන්දනාවට සහ ජයින ආගමේ ද පූජනීය වස්තුවක් ලෙස සදුන් ගස් හැඳින්වේ.  සදුන් ගසේ ලක්ෂ්මී දේවිය වැඩ වාසය කරන බව ලොව පුරා බැතිමතුන්ගේ විස්වාසයයි.



Recommended Articles