සක්‍රීය කුණු කඳුවලින් කාබනික පොහොර නිපදවීම අනතුරුදායකයි


බස්නාහිර පළාතේ සක්‍රීය මට්ටමේ ඇති කුණු කඳු වල ඇති  පැරණි මිශ්‍ර කුණු කොම්පෝස්ට් පොහොරක් බවට පත් කිරීමේදී ගොවිතැනට අනතුරුදායක තත්වයක් මතුවිය හැකි බව බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මේ දිනවල කතාබහට ලක්වී ඇති කාබනික පොහොර නිෂ්පාදනය කුණු කඳු යොදාගනිමින් සිදුකල හැකි දැයි අප කළ විමසීමට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

පැරණි කුණු කඳු වලට මුදා හැර ඇති මිශ්‍ර කසල වල විවිධ සායනික අපද්‍රව්‍ය සහ බැර ලෝහ විස රසායනික වර්ග සහිත විෂ කුණු තිබිය හැකි බැවින් එවැනි දේවල් ගොවිබිම්වලට යෑම අනතුරුදායක විය හැකි බව ඒ මහතා පැවසීය.

සෞභාග්‍යය දැක්මට අනුව යන ගමනේ දී ඉදිරි සැලසුමකට අනුව ක්‍රියාත්මක වන්නේ නම් පැරණි කසල වෙනුවට අලුතෙන් ගෙයින් ගෙට එකතු කරගන්නා වෙන්කල කසළ මේ සඳහා යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම ඵලදායි බව ඒ මහතා පැවැසීය.

පැරණි විවෘත කුණු කඳු වලින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගත හැක්කේ කරදියාන,කෙරවලපිටිය,කලුතර පොහොරවත්ත බිම් පිරවුම් මධ්‍යස්ථානවල වෙනමම ගොඩ ගසා ඇති දිරන අපද්‍රව්‍ය පමණක් බව ඒ මහතා පැවසීය.

කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය හිතකර වූ  උෂ්ණත්වය,තෙතමනය සහිත පරිසරයක් ලංකාවේ ඇති බව සඳහන් කරන ඒ මහතා  නයිට්රේට්, පොටෑසියම්,පොස්පරස් පසට එකකලප හැකි තාක්ෂණික ක්‍රමවේද සැකසිය යුතු බව පැවසීය.

ගුණාත්මක ආකාරය කොම්පෝස්ට් නිෂ්පාදන කරන නිශ්පාදනාගාර පළාත් පාලන මට්ටමින් විසිතුනක් නිර්මාණකර ඇති බව සඳහන් කරන ඒ මහතා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යටතේ කොම්පෝස්ට් අංගන හතරකුත් පහත් බිම් ගොඩ කිරීමේ සංස්ථාව යටතේ  කොම්පෝස්ට් අංගන එකකුත් ඇති බව පැවසීය.

එසේ ගුණාත්මකභාවයෙන් නිපදවෙන කොම්පෝස්ට් පොහොරක් බවට පත්කර ගැනීමට අවශ්‍ය පසුබිම වැඩිදියුණු කර සකසා දිය හැකි නම් මෙම කාබනික වගාවට අවශ්‍ය ශාකයට ගැලපෙන පොහොර නිපදවිය හැකි බව පැවසීය.

දැනට එකතු වන වෙන් කල දිරණ අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් නිෂ්පාදනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 900පමණ නිපදවන බව සඳහන් කළ ඒ මහතා මෙය මෙට්‍රික් ටොන් 18000 ක් දක්වා වැඩි කිරීමට හැකියාව පවතින බවත් අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් මෙය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 45000 වැඩි කළ හැකි බවද ඒ මහතා පැවසීය.

බස්නාහිර පළාතේ සක්‍රීයව කුණුකඳු 24 පැවති බව සඳහන් කල ඒ මහතා මේ වන විට එයින් බ්ලුමැන්ඩල්.මී තොටමුල්ල.සේදවත්ත,ජා ඇල කුණුකඳු අක්‍රිය මට්ටමට පත්ව ඇති බව පැවසීය.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යටතේ ගුණාත්මක ආකාරයට පවත්වාගෙන යන කළුතර පොහොර වත්ත කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරය ආදර්ශමත් වගාබිමක් පවත්වාගෙන යන බව ඒ මහතා පැවසීය. එහි පලදාව ඉහල මට්ටමකට ඇති බවද ඒ මහතා පැවසීය.

මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා

 

 



Recommended Articles