සංචාරකයින් රැගත් බසයක් දුම්රියක ගැටේ


සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අළුයම  වස්කඩුව කොස්ගස්හන්දිය ප්‍රදේශයේඅනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දුම්රිය රියදුරු සහ සංචාරකයින් දෙපලක් තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

අනතුරෙන් ඇසකට තුවාල සිදුවූ දුම්රිය රියදුරු 1990 සුවසැරියෙන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගිය අතර , අත් වලට සුළු තුවාල ලැබූ විදෙස් යුවලට ප්‍රථමාධාර ලබාදෙනු ලැබීය.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ චෙක් රාජ්‍යය බලා පිටත්වීමට නියමිත කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපළ දක්වා සංචාරකයින් පිරිසක් රැගෙන යමින්  සිටි බස් රථයකි.

අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය මෙසේ අනතුරට මුහුනපා ඇත.

කුඩා වස්කඩුවේ පිහිටී ප්‍රසිද්ධ  සංචාරක හෝටලයකින් සංචාරකයින් විසි දෙනෙකු  රැගෙන තවත් හෝටලයක සූදානම්ව සිටී සංචාරකයින් 25 දෙනෙකු රැගෙන යාමට යමින් සිටියදී අනතුර සිදුව තිබේ.

බසයේ ගමන් කර ඇති සංචාරකයින් කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පෙරවරු 9 ට පිටත්වීමට නියමිත ගුවන් යානයකට රැගෙන යන සංචාරකයින් පිරිසක් බවද සදහන් වේ.

අනතුරෙන් බස් රථය කොටස් දෙකකට කැඩී වෙන්ව තිබූ අතර, දුම්රියේ ඉදිරිපස කොටසටද හානි සිදුව තිබුණි . 

අනතුර සිදුවන මොහොතේ බස් රථයේ සංචාරකයින් 20 දෙනෙකු , රියදුරන් දෙදෙනෙකු සහ සංචාරක මගපෙන්වන්නා ගමන්කර ඇති බවත් , ඔවුන් සියලු දෙනා ඉදිරිපස අසුන්වල රැදී සිට ඇති බැවින් ජීවිත හානි සිදුව නොමැති බවත් සදහන් වේ.

"මේ පිළිබඳ අදහස් දැක්වූ බස් රථ රියදුරු: දුම්රිය හරස් මාර්ගයේ සංඥා ලාම්පු අක්‍රීයව තිබූනේ. දුම්රිය මාර්ගයේ දෙපැත්ත බලලා දැම්මා.  නමුත් දුම්රිය ප්‍රධාන ලාම්පු නිවාගෙන ආවේ. හෝන් ගහනවිට මම ඉක්මනින් බසය ගත්තා. ඒත් බසයේ පසුපස කොටස වැදුනා."

බසයේ ගමන්ගත් සංචාරකයින් පිරිස වෙනත් බස් රථයකින් කටුනායක දක්වා රැගෙන ගිය අතර , දුම්රියේ ගමන්ගත් මගීන් මරදාන බලා ධාවනයවූ වෙනත් දුම්රියක් ස්ථානයේ නතර කර එයට නංවාගනු ලබන අයුරු දැකගත හැකිවිය .

දුම්රිය අනතුරක් සමගින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ විනාඩි 45 ක පමන කාලයක් දුම්රිය ගමනාගමනය එක් මංතීරුවක මුළුමනින්ම ඇණහිට තිබූ අතර , දුම්රිය නැවත කළුතර උතුර දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ධාවනය යතා තත්ත්වයට පත්කරන ලදී.

කළුතර පානදුර අතර  සංචාරක කලාපයේ වැඩිම සංචාරකයින් ගැවසෙන වස්කඩුවේ පිහිටි ප්‍රධාන අනාරක්ෂිත  දුම්රිය හරස් මාර්ගයක් බැවින්, බළධාරීන් දැනුවත් කලද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද ප්‍රදේශවාසින් චෝදනා නගති.

පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles