බෙයිජිං නුවර ගොඩනැගී ඇත්තේ දිස්ත්‍රික්ක 16ක එකතුවෙනි. මා වෙසෙන්නේ චායොයක් දිස්ත්‍රික්කයේ ය. චායොයං දිස්ත්‍රික්කය තුළ නැරඹීමට ඇති දෑ බොහෝය. විශේෂයෙන්ම මෙම දිස්ත්‍රික්කය පරිපාලනමය වශයෙන් වැදගත් ස්ථාන රැසක් පිහිටා ඇති ප්රදේශයකි. විශේෂයෙන්ම රටවල් රැසක තානාපති කාර්යාල පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කයේ ය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද චායොයං දිස්ත්‍රික්කයේ ජියංගුවාමෙන්වායි හි පිහිටා ඇත.
ඉකුත් වසරේ දී බෙයිජිං නුවර පිළිබඳව වැඩිවශයෙන් කතාබහට ලක් වූයේ සීත ඍතු ඔලිම්පික් උළෙල සමඟය. ඔලිම්පික් ගම්මානය පිහිටා ඇත්තේ ද චායොයං දිස්ත්‍රික්කයේ ය. ඉකුත් දිනක අපි එහි ගියෙමු.
2022 ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ වරම බෙයිජිං නගරයට හිමිවිය. බෙයිජිං ග්‍රීෂ්ම ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුයේ 2008 වසරේදී ය. බෙයිජිං නගරය සමඟ 2022 ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ අනෙක් නගරය වූයේ කසකස්ථානයේ ALMATY නගරයයි.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඒ පිළිබද ඡන්ද විමසීමක් සිදු කළ අතර එහිදී 2022 ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ වරම බෙයිජිං නගරයට හිමිවූයේ ගිම්හාන සහ ශීත ඔලිම්පික් ක්‍රීඩා දෙකටම සත්කාරකත්වය සපයන ලොව එකම නගරය බවට බීජිං නගරය පත් කරමිනි. එම ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල ඇමරිකා ඩොලර් බිලියනය ඉක්ම වීය.
එහිදී ලොව සියලු දෙනාගේ අවදානය යොමු වූ වේගයෙන් හිම මත ලිස්සා යෑමේ ඕවලාකාර ක්‍රීඩාංගනය නැරඹීමට චීනයේ ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍යවේදීන් කණ්ඩායම ගියෙමු. එය ආසියාවේ විශාලතම හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩාංගනය වන අතර, වර්ග මීටර් 12,000ක ඉඩකින් යුක්තය. අප එහි යන විට ද හිම මත ලිස්සා යෑමේ තරඟ සහ පුහුණු වීම් පැවැත්වුණි.
ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සපයන ලද පෙළ විස්තරයට අනුව 2022 බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලත් සමඟ, ජාතික ස්පීඩ් ස්කේටිං ඕවල් (NSSO) චීනය සඳහා නව ඔලිම්පික් පරිච්ඡේදයක් පිළිබිඹු කරයි. 2008 ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා ඉදිකරන ලද 'කුරුළු කූඩුව' සහ 'අයිස් කුට්ටි ක්‍රීඩා පරිශ්‍රය' සමඟින් සිත් ඇදගන්නාසුළු 'අයිස් රිබන්' පරිශ්‍රය සමඟින් බෙයිජිං පරිපූර්ණ ක්‍රීඩා නගරයක් බවට පත්ව ඇත.
දර්ශනීය ස්ථානයක් ලෙස නිර්මාණය කර ඇති හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩාංගනය ශීත ඍතු ඔලිම්පික් උළෙලේ වේගයෙන් ලිස්සා යාමේ තරඟයේ ප්‍රධාන ස්ථානය විය. ක්‍රීඩා උළෙලෙන් පසුව මහජන ක්‍රීඩා සහ පුහුණු ස්ථානයක් බවට එය පත්ව ඇත. ඒ බව අපට එහි ගිය පසු දැකගත හැකිවිය. 2016 දී ජාත්‍යන්තර නිර්මාණ තරඟයකින් ජයග්‍රහණය කිරීමෙන් පසු ගෝලීය ක්‍රීඩා ගෘහ නිර්මාණ සමාගමක් වන Populous විසින් මෙය නිර්මාණය කර තිබේ.
මෙහි පිටත සැකැස්ම ද ආකර්ෂණීය වන අතර, එය රාත්‍රීයේ දී ආලෝකවත් කිරීමෙන් වඩාත් වර්ණවත් වෙයි. සැබැවින්ම එය බෙයිජිං නගරයට ආකර්ෂණයක් එක් කර ඇත.
අයිස් කුට්ටි ක්‍රීඩා මධ්‍යස්ථානය ද (Ice Cube Sports Center) එවැනිම ආකර්ෂණීය ස්ථානයකි. එහි දී අයිස් කුට්ටි මත සිදු කරන ක්‍රීඩාවක අත්දැකීම ලබාගැනීමට ද අපට හැකිවිය. එය නිර්මාණය කිරීමේ දී යොදාගත් තාක්ෂණය පිළිබඳව ඔවුන් අපට පැහැදිලි කළේය. එමෙන්ම ලෝක ශූර පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගේ දෑත් සටහන්, අත් අකුරු, අත්සන් ආදිය ද එහි ප්‍රදර්ශනයට තබා තිබුණි. මෙම සියලු නිර්මාණ චීනයේ ගෘහ නිර්මාණ ශිල්පයේ සහ තාක්ෂණයේ දියුණුව පිළිබඳව අපට ආදර්ශ සපයයි.
නවෝද්‍යා පවනි (චීනයේ සිට)