ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම අගාවුඩ් කෞතුකාගාරය විවෘත වෙයි


ශ්‍රී ලාංකේය අගාවුඩ් වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමීයා වන පින්තැන්න සමූහ ව්‍යාපාරය තවත් ශක්තිමත් ඉදිරි පියවරක් තබමින් පින්තැන්න වතුයායේ අභිනවයෙන් ඉදිරිකරන ලද නවීන තාක්ෂණයෙන් සමන්විත බහුකාර්ය ගොඩනැගිල්ල පසුගියදා (16) විවෘත කෙරිණි.

ඒ එහි සභාපති මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ විනිසුරුවරයෙකුද වන දේශබන්දු කුමාර් ධර්මසේන මහතාගේ මූලිකත්වයෙනි. ඔහුගේ සංකල්පයක් මත ආරම්භ වූ පින්තැන්න ප්ලාන්ටේෂන් ආයතනය මගින් නවීත තාක්ෂණයෙන් සමන්විත උසස් ගුණාත්මක බවින් හෙබි ඓතිහාසික වල්ලපට්ටා සංචිතයකින් යුත් පින්තැන්න කෞතුකාගාරය හා නවීත තාක්ෂණයෙන් පරිපූර්ණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉදි වු පින්තැන්න සිනමා ශාලාව සහිත නව සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සහ පින්තැන්න නිල මුල්දින කවරය ජනගත කිරීමද මෙහිදි සිදුවිණි.

ශ්‍රී ලංකාවට ආවේණික ඒකදේශික ශාකයක් වන වන අගාවුඩ් නැතහොත් වල්ලපට්ටා ශාකයෙන් ලබා ගන්නා උපරිම ඵල නෙලා ගැනීමට සමත් වූ  පින්තැන්න සමූහ ව්‍යාපාරය විසින් නවීන තාක්ෂණයෙන් සමන්විත උසස් ගුණාත්මක බවින් යුතු ඓතිහාසික වල්ලපට්ටා සංචිතයකින් යුත් ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම අගාවුඩ් කෞතුකාගාරය සහ කුමාර් ධර්මසේන ක්‍රීඩා කෞතුකාගාරයද මෙහිදි විවෘත කෙරිණි.

"මම කෞතුකාගාරයක් හැදුවේ මේ අපේ රටේ ශාකය රටේ අනාගත පරපුරට, දූ දරුවන්ට පෙන්නන්න ඕන මේක තමයි අපේ දේ, මේක තමයි රටේ දේ. මේක තමයි ඉදිරි අනාගතයේදී සංවර්ධිත රටක් කරන්නම් අපේ නිෂ්පාදන කල යුත්තේ, හරි විදිහට කරන්නේ කොහොමද, නිෂ්පාදනයේ අගය එකතු කරන්නේ කොහොමද? අපි ප්‍රධාන නිෂ්පාදන තුනයි වල්ලපට්ටා ශාකයෙන් කරන්නේ. ඌඩ් තෙල් නිෂ්පාදනය කරනවා, චිප්ස් නිෂ්පාදනය කරනවා අලුත්ම එක තමයි අගා ටී එක. ඒක වට කරගෙන තව නිෂ්පාදන 102ක් අපි කරනවා. ලංකාවේ අපේ එක විකුණුම් හලයි තියන්නේ නමුත් ඉදිරි අනාගතයේදී විකුණුම්හල් 25ක් 2024දි පින්තැන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අන්තර්ජාතික විකුණුම්හල් 3ක් අපිට තියනවා ඒ වගේම අපි ඒක විකුණුම්හල් 10ක් කරන්න බලාපොරොත්තු වෙනවා. සෞදි අරාබියේ හදවත වැනි මදීනා නගරයේ පින්තැන්න අපිට වාසනාව ශක්තිය ලැබුනා අපේම කියලා විකුණුම්හලක් ආරම්භ කරන්න. මදීනා නගරයේ ලේසි නෑ විකුණුම්හලක් ආරම්භ කරන්න වෙන රටක නාමයෙන් ඒත් සිලානී කියන නාමයෙන් සෞදි අරාබියේ මදීනා නගරයේ ආරම්භ කරන්න අපිට හැකියාව ලැබුනා.

මම මේ රත්තරං වටින ගහට අද නම් රුපියල් ලක්ෂෙට ඉහල වටිනාකමක් තමයි දෙන්න පුලුවන් වුනේ. නමුත් මම බලාපොරොත්තු වෙනවා 2028දී මේ ශාකය රුපියල් මිලියනක් දක්වා ඉහලට ගෙනියන්න. ඒක කිරීමට හැකියාව තියනවා අපේ නිෂ්පාදන තුලින්. අපේ මේ ව්‍යාපෘතියේ කවුරුත් හිතනවා ඇති අපි ඉවරයි මේ කරලා කියලා නමුත් තාම සියයට 50ක් වත් ඉවර නෑ. මම මේ හීනය දන්නවා, මම මේක පටන් ගත්තේ මේ හීනය දැනගෙන නිෂ්පාදන ක්‍රියාවලිය ඉවර වෙලා, අපේ විකුණුම්හල් ටික ඉවර වෙලා අන්තර්ජාතික විකුණුම්හල් ටික ඉවර වුනායින් පස්සේ තමයි ව්‍යාපෘතියේ සියයට 50ක් සම්පූර්ණ වෙන්නේ.

අද මට ගොඩාක් සතුටු දවසක් ප්‍රධානම හේතුව තමයි මේ වගේ ගමක මේ වගේ සුවිශාල ගොඩනැගිල්ලක් හදලා ලංකාවේ ප්‍රථම හා එකම වල්ලපට්ටා කෞතුකාගාරයක් හදන්න අපට පුලුවන් වුනා. ඒකේ ප්‍රධාන පරමාර්ථය තමයි අනාගත පරපුරට, මගේ දරුවගෙත් දරුවාට සංවර්ධිත රටක් අපි කරලා දෙන්න ඕනේ. මම දන්නවා අපේ ජීවිත කාලයේදී සංවර්ධිත රටක් අපිට දකින්න හම්බුනේ නෑ. ඒකේ කාගේද වැරැද්ද බලන්නේ නැතිව අපි එකතු වෙලා අපිට පුලුවන්නම් පින්තැන්නෙන් සංවර්ධිත රටක් කරා යන ගමනේදී හොඳ පුරුකක් වෙන්න ඒක කරන්න නම් අපේ නිර්මාණ අපි නිර්මාණය කල යුතුයි, අපේ සන්නාම අපි දහස් ගාණක් එලි දැක්විය යුතුයි. අපේ දේවල් අපි එලියට අරන් ගිහිල්ලා ඩොලර් ටික ලංකාවට ගේන ඕනේ. එහෙම තමයි අපිට සංවර්ධිත රටක් කරා යන්න පුලුවන්. මොකද මම මගේ ඇස් දෙකෙන් දැකලා තියනවා සංවර්ධිත රටවල්. විශේෂයෙන් මම ක්‍රීඩා කරපු ක්‍රීඩාවට පින් සිද්ද වෙන්න මට පුලුවන් වුනා රට රාජ්‍යවල යන්න, ඇවිදින්න වාසනාව ලැබුනා. ඒ අත්දැකීම තුලින් මම කියන්නේ ලංකාව සංවර්ධිත රටක් කරන්න නම් අපේ නිර්මාණ අපේ සන්නාම අපි නිපදවිය යුතුයි, නිෂ්පාදනය කල යුතුයි. ඒකේ එක කොටසක් තමයි පින්තැන්න මේ කරන්නේ." යැයි එහිදි අදහස් දක්වමින් පින්තැන්න සමූහ ව්‍යාපාරයේ සභාපති කුමාර් ධර්මසේන මහතා පැවසීය.

කුමර් ධර්මසේන මහතා විසින් වසර ගණනාවක පර්යේෂණ සහ අත්හදා බැලීම් තුලින් ලබා ගත් දැනුම් සම්භාරයත් සමගින් 2009 වසරේදී අගාවුඩ් ශාක රෝපණය ආරම්භ කර ඇති අතර, 2020 ඔක්තෝබර් මස පළමු වැනි දිනයේදී පින්තැන්න ප්ලාන්ටේෂන් ආයතනය නිල වශයෙන් ආරම්භ කෙරිණි. එහිදි අක්කර 200ක භූමි ප්‍රමාණයකින් ආරම්භ වී ඇති අගාවුඩ් වගාව මේ වන විට ලක්ෂ 2කට අධික ශාක සංචිතයකින් සමන්විතව අක්කර 1500කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් දක්වා වර්ධනය කරගැනීමටද ඔවුන් සමත්ව ඇත.

එසේම පසුගිය 2022 පෙබරවාරි මස දී පින්තැන්න සමූහ ව්‍යාපාරය සමාගමක් වශයෙන් තවත් ඉදිරි පියවරක් තබමින් අගාවුඩ් වගාවේ සිට ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය කිරීමද ආරම්භ කර තිබේ. එහිදි පූර්ණ සුපැහැදිලි ක්‍රියාවලියක් තුලින් අගාවුඩ් බීජයේ සිට තෙල් නිස්සාරණය දක්වාම ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රථම සහ එකම අගාවුඩ් නිෂ්පාදනය සඳහාම වෙන්වූ කර්මාන්ත ශාලාවක් අයගම පිහිටි ප්‍රධාන වතුයායේදී ආරම්භ කිරීමටද ඔවුන් සමත්ව ඇත. එමෙන්ම මේ වනවිට සියයට සීයයක් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් ලෙස %සිලානි^ සන්නාමය ලෝක වෙලඳපලට එක් කරමින් ඒ හරහා මෙරටට විදේශ විණිමය ළඟා කරදීමටත් මෙරට ආර්ථිකය නගා සිටවීමටත් ඔවුන් මහඟු දායකත්වයක් ලබා දෙමින් සිටියි.

අගාවුඩ් ආශ්‍රිත නිෂ්පාදන %ඌඩ්^ නිෂ්පාදන ලෙස හඳුන්වනු ලබන අතර සුවඳ විලවුන්, තේ, ඌඩ් තෙල්, ඖෂධ, රෑපලාවන්‍ය නිෂ්පාදන සහ අතුරු නිෂ්පාදන රැසක් මෙම ශාකයේ මූලයේ සිට පත්‍ර දක්වාම භාවිතා කරමින් නිෂ්පාදනය කරනු ලබයි. එසේම ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූලව වල්ලපට්ටා ආශ්‍රිත නිෂ්පාදන ලෝක වෙලඳපලට එක් කිරීමේ හැකියාව ඇති නීතිමට අවසරය ලත් රාජ්‍ය අනුග්‍රහය සහිත අපනයන බලපත්‍රය හිමි එකම ආයතනය වනුයේද පින්තැන්න සමූහ ව්‍යාපාරය වන අතර මේ වන විට පින්තැන්න ඌඩ් මගින් ශ්‍රී ලංකාවට ආවේණික වල්ලපට්ටා භාවිතා කරමින් නිෂ්පාදන රැසක් &සිලානී* නම් සන්නාමය යටතේ වෙලඳපලට එක් කර තිබේ. තවද එය ලංකාවට පමණක් නොව ඩුබායි රාජ්‍ය ඇතුළු රටවල් කිහිපයක් දක්වා වූ ශාඛා ජාලයක් විවෘත කිරීමටද පින්තැන්න සමූහ ව්‍යාපාරය මේ වනවිට සමත්ව ඇත.

තවද ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සන්මායක් වූ %උනන්දුවා^ නැවතත් ස්වර්ණමය සන්ධිස්ථානයකට පත් කරවමින් %උනන්දුවා^ සුවඳ විලවුන් කර්මාන්ත ශාලාවද මේ වන විට ආරම්භ කර ඇති අතර එමගින් ඉදිරියේදි ශ්‍රී ලංකාවට විදෙස් විනිමට ඉපැයීමට ඔවුන් අපේක්ෂා කරයි. එසේම මේ වනවිට ශ්‍රී ලාංකීය ජනතාවට අගාවුඩ් ආශ්‍රිත නිෂ්පාදන ඉදිරිපත් කර ඒවායේ අත්දැකීම් ලබාගනු වස් නුගේගොඩ ප්‍රධාන ප්‍රදර්ශනාගාරයක්ද විවෘත කර තිබේ.  

- තිසර ගංගාදර

 



Recommended Articles