ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගනියි


ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නුවරඑළිය, හක්ගල දැඩි ස්වාභාවික  රක්ෂිත භූමියෙන් මෙම නව ශාක විශේෂය හඳුනා ගැනීමට එම පර්යේෂණ කණ්ඩායමට හැකියාව ලැබී ඇති අතර, උද්භිද විද්‍යාත්මකව එම ශාකය කෝලියාස් හක්ගලෙන්සිස් අබේසේකර, කසුනිකා, හලුවන සහ නිලන්ක (Coleus Hakgalensis Abeysekara, Kasunika, Haluwana & Nilanka) යනුවෙන් නම් කිරීමට පියවර ගෙන ඇත.

2022 වසරේ අග භාගයේ සිට මධ්‍යම කඳුකරය ආවරණය වන පරිදි හක්ගල දැඩි ස්වාභාවික රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව ආරම්භ කරන ලද ශාක ගවේෂණ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස 2024 වසරේ දුෂ්කර මාර්ග ඔස්සේ උන්නතාංශ මීටර් 1900ත් 2100ත් අතර සිදු කරන ලද පර්යේෂණවලදී මෙම නව ශාක විශේෂය සොයා ගැනීමට පර්යේෂණ කණ්ඩායමට හැකිව තිබේ. මින්ට් (Lamiaceae) ශාක කුලයට අයත් නව කෝලියාස් (Coleus) ශාක විශේෂයක් ලෙස මෙම නව ශාක විශේෂය හඳුනා ගැනීමට පර්යේෂණයේ නියැළුණු සුමේධා අබේසේකර, ඕවිටිමුල්ලගේ  කසුනිකා, නිශාන්ති හළුවන සහ නඳුන් නිලංක යන පර්යේෂණ කණ්ඩායම සමත්ව තිබේ.

2024 වසරේ පෙබරවාරි මස ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරය විසින් ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හක්ගල ප්‍රදේශයේ උද්භිද විද්‍යාත්මක ගවේෂණයකදී මෙම නව සොයා ගැනීම සිදු කිරීමට තමන්ට හැකියාව ලැබී ඇති බවත්, ජාතික ශාකාගාරයට වසර 200ක් සම්පූර්ණ වන 2024 වසරේ මෙය අනාවරණය කර ගැනීමට හැකිවීම සුවිශේෂී සිදුවීමක් බවත් පර්යේෂණ කණ්ඩායම පවසයි.

2013 වසරේ සිට ක්‍රියාත්මක වන ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ ජාතික ශාකාගාර කාර්යමණ්ඩලය විසින්ම සොයාගනු ලැබූ නව ශාක විශේෂයක් ලෙස මෙය ඉතිහාසයට එක් වන බවත්, මෙම නව සොයා ගැනීම සම්බන්ධයෙන් ශාක වර්ගීකරණය විද්‍යාව පිළිබඳව ප්‍රධානතම ජාත්‍යන්තර සඟරාවක් වන PHYTOTAXA සඟරාව විසින් ඉකුත් ඔක්තෝබර් මස 30 දින විද්‍යාත්මකව ප්‍රකාශනයට පත් කොට ඇති බවත් පර්යේෂණ කණ්ඩායම සඳහන් කරති.

මෙම කෝලියාස් හක්ගලෙන්සිස් (Coleus hakgalensis) නමැති නව ශාකය මීටර් එකක් පමණ උසට වැඩෙන පඳුරු ස්වභාවයකින් යුක්ත බවත්, දම් හා සුදු මිශ්‍ර සිත් ගන්නා සුලු වර්ණයකින් යුතු මල් කිනිති බොහෝමයක් මෙම පඳුරුවල එකවර හට ගන්නා බවත් පර්යේෂණ කණ්ඩායම පවසයි. හොඳින් වැඩුණු මල් කිනිත්තක අඩියකට වඩා දිගින් යුතු වන අතර, බීජ හා අතු කැබිලි මගින් ප්‍රචාරණය වන බවත්,  මෙම නව ශාකය අනෙකුත් කපුරු වල්ලිය ශාකවලට වඩා ප්‍රමාණයෙන් විශාල වීම නිසා මෙය මහ කපුරු වල්ලිය ලෙස ව්‍යවහාර නාමයකින් හැඳින්වීමට තමන් යෝජනා කර ඇතැයි  පර්යේෂණ කණ්ඩායම කියති.

මෙම නව ශාකය මුහුදු මට්ටමේ සිට මීටර් 2000ක් පමණ උන්නතාංශයක පිහිටි හක්ගල දැඩි රක්ෂිතයේ ගල් පර්වතයන් ආශ්‍රිතව පමණක් හමුවන බව පර්යේෂණ තොරතුරුවලින් අනාවරණය වී තිබේ. මෙකී ශාකයේ පවතින මින්ට් හා සමාන සුවඳ හා සෑම කොටසකම පවත්න ග්‍රන්ථිමය (Glands) ස්වභාවය, එහි තවමත් සොයා නොගත් රසායණික වටිනාකම් බොහෝමයක් තිබිය හැකි බව පෙන්නුම් කරන බවත්, ශාකයේ පඳුරු ස්වභාවය හා අලංකාර මල් කිනිති උද්‍යාන අලංකරණයට යොදා ගැනීමට ඇති ප්‍රවණතාවයද පෙන්නුම් කරන බව පර්යේෂණ කණ්ඩායම කියති.

ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය හේතුවෙන් මෙම නව ශාකයේ ස්වභාවික වාසස්ථාන දැනටමත් තර්ජනයට ලක්ව ඇති බවත්, එහි ඉදිරි පැවැත්ම අවිනිශ්චිත විය හැකි බවද ගවේෂණ කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්ව ඇත. එබැවින් මෙකී මහ කපුරුවල්ලිය ශාකය හග්ගල උද්භිද උද්‍යානයේ විතැන් සංරක්ෂණ එකතුවට ඇතුළත් කිරීමට මේ වන විටත් කටයුතු ආරම්භ කොට ඇතැයි පර්යේෂණ කණ්ඩායම සඳහන් කරති.

නව ශාක විශේෂය සොයා ගැනීමේ කර්තව්‍ය එවකට ජාතික ශාකාගාරයේ සහකාර අධ්‍යක්ෂිකා නිශාන්ති හලුවන මහත්මියගේද, සංවර්ධන නිලධාරී සුමේධා අබේසේකර මෙනවියගේද, ඕවිටිමුල්ලගේ කසුනිකා මහත්මියගේද මූලිකත්වයෙන් සිදුව ඇති අතර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නඳුන් නිලංක මහතා ක්ෂේත්‍ර මාර්ගෝපදේශකත්වය ලබාදීමෙන් මෙම   ප්‍රකාශනය එළිදැක්වීමට අදාළ පර්යේෂණ කටයුතු සිදු කොට තිබේ. මෙම ගවේෂණ කටයුතු සඳහා ජාතික ශාකාගාරයේ අමිල සුමනදාස, ආසිරි ප්‍රේමතිලක, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ළහිරු සාරංග හා හක්ගල උද්භිද උද්‍යානයේ පින්සර නාදුගල, විජිත බණ්ඩාර යන මහත්වරුන්ද එක්ව තිබේ.

ශාන් හුලංනුගේ

 



Recommended Articles