වොක්ස්වැගන් ප්‍රේමීන්ට අතිවිශේෂයි


ක්ලැසික් කාර් උන්මාදය අද වන විට විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. වොක්ස්වැගන් කියන්නෙත් ඒ වගේ විලාසිතාවක්. වොක්ස්වැගන් එකක් මඟතොටේදී යනවා දැක්කත් අපි ඒ දෙස නෙත් නොපියා බලා හිඳින්නේ ඒ උන්මාදය නිසා වෙන්න ඇති. ඉතින් මේ උන්මාදය තිබෙන ලංකාවේ සිව්දෙසේ සිටින වොක්ස්වැගන්ලෝලීන් එකතුවෙලා බිහිකරපු කණ්ඩායමක් තමයි VW Beetle Owners Club of Sri Lanka කියන්නේ.

මේ පිරිස සෑම අවුරුද්දකම ලෝක වොක්ස්වැගන් දිනය වෙනුවෙන් ගෝල්ෆේස් හෝටලය අසලට තමන්ගේ වොක්ස්වැගන් රථය රැගෙන එනවා. මේ අවුරුද්දේ ජූලි 01 වෙනිදාත් සිව්දෙසින් පැමිණි වෙක්ස්වැගන් හිමියන් එලෙස ගෝල්ෆේස් හෝටලය අසලට පැමිණියා. පාට පාට වොක්ස්වැගන් 100කට වැඩි ප්‍රමාණයක් එදින රැස්ව සිටි අතර, මුළු ගාලුමුවදොරම වෙනදාට වඩා සුන්දරත්වයක් දැකගන්න පුළුවන් වූවා.


ලෝකය පුරා බොහොමයක් රටවල සෑම අවුරුද්දකම ජුනි 22 වෙනිදාට ආසන්නයේ යෙදෙන ඉරිදාවක තමයි ලෝක වොක්ස්වැගන් දිනය සමරන්නේ. ජුනි 22 වනදා මේ දිනය යෙදෙන්නත් එක් හේතුවක් තිබුණා. ඒ තමයි 90 දශකය වෙද්දි ලෝකයේම වොක්ස්වැගන් දැකගන්න පුළුවන් වුණේ අල්ප වශයෙන්. 95 ජුනි මාසයේ වොක්ස්වැගන් වලට ආදරය කරන ඇලෙක්සැන්ඩර් ග්‍රොමෝව් නැමැත්තා අන්තර්ජලයේ ලිපියක් පළ කරලා තිබුණා. %Dear VW Bettle Friends^ යනුවෙන් ආමන්ත්‍රණය කර තිබුණු එහි සඳහන් වූයේ June 22nd drive your V.W. to work යනුවෙන්. ඒ වගේම වොක්ස්වැගන් හිමියෙකු ලෙස ඔහු එයට දක්වන ආදරය සම්බන්ධවද ඒ ලිපියේ ලියා තිබුණා. ඒ ලිපිය භාෂා රැසකින් අන්තර්ජාලය පුරා සැරිසැරීමෙන් අනතුරුව වොක්ස්වැගන්ලෝලීන් නැවත පණගැන්වුණා. ගරාජ්වල දිරායමින් තිබූ වොක්ස්වැගන් තෙල් දමා පණගැන්වූවා. අනතුරුව 95 ජුනි 22දා වොක්ස්වැගන් නැවතත් කරළියට පැමිණියා. අන්න එලෙසයි ජුනි 22වනදා ලෝක වොක්ස්වැගන් දිනය බවට පත්වෙන්නේ. 

වොක්ස්වැගන් දිනය මෙහෙම සමරද්දී, එහි ඉතිහාසය හොයලා බැලුවොත් හොඳයි කියලා හිතුණා. වොක්ස්වැගන් කුලයේ පළමු මෝටර් රථය ලංකාවට එන්නේ 1947 අවුරුද්දේ. ඒ මීට වසර 71කට පෙරයි. ලංකාවට ආපු දෙවෙනි වොකස්වැගන් එක මිලදී ගෙන තිබෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්. ප්‍රකට වෘත්තීය සමිති නායකයෙකු වුණු බාලෝ තම්පෝත් පාවිච්චි කරලා තියෙන්නෙත් වොක්ස්වැගන් එකක්. ඒ විතරක් නෙවෙයි ගුණදාස අමරසේකරටත් ඒ කාලේ වොක්ස්වැගන් එකක් තිබුණලු. මේ කාලේ වෘත්තිකයන් භාවිත කළ ජනප්‍රියම වාහනේ වුණේ වොක්ස්වැගන්ලු. ඉන්පසු අවදියේ පටන් වොක්ස්වැගන් සුලබ දසුනක් වුණා. 70 දශකය වෙද්දි වොක්ස්වැගන් කුලී රථ සේවාව සඳහාද යොදාගනු ලැබුවා. Valks Wagen ජර්මන් භාෂාවට අනුව තේරුම තමයි %peoples car^ හෙවත් මහජනතාවගේ මෝටර් රථය යන්න. ඇත්තටම ඒ යුගය වන විට එය මහජනතාවගේම රථයක් වී හමාරයි. වොක්ස්වැගන්වලින් ජනප්‍රියම රථය තමයි Valks Wagen Beetle. බීට්ල් කියලා කියන්නෙ කුරුමිණියෙක් වගේ නිසයි. 

වොක්ස්වැගන්වල උපත් කතාව හොයලා බැලුවම මේ උත්පත්තියට මූලික වෙලා තියෙන්නෙ හිට්ලර්. ඒ හොඳකට නම් නෙවෙයි. හිට්ලර් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. හිට්ලර්ට උවමනා වුණා කාන්තාරවල ගමන් සඳහා වතුර නැතිව භාවිතයට ගන්න පුළුවන් මෝටර් රථයක්. හිට්ලර්ට තමන්ගේ ඒ හිතේ ඇඳුණු කාර් එකේ කටුසටහනක්ද තිබුණා. නමුත් ඔහු කාර් එක හදනතුරු කිසිම කෙනෙකුට ඒක පෙන්නුවේ නැහැලු. ඉතිං හිට්ලර් මේ සඳහා හොඳ මෝටර් රථ ඉංජිනේරුවෙක් හොයමින් ඉද්දි තමයි ඔහුට ෆර්ඩිනන්ඩ් පෝෂේ මහත්තයව මුණගැහෙන්නේ. ඔහු German National Price for Art and Science සහ Grate German Engineer යන සම්මාන දෙකම ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඔහු 1995 අවුරුද්දේ සියවසේ මෝටර් රථ ඉංජිනේරුවා බවට පත්වෙනවා. ඉතින් එතුමාගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔහු හිට්ලර්ගේ කීමට මේ මෝටර් රථය නිර්මාණය කරන්න යොමු වුණා. 

 

හිට්ලර්ට උවමනා කළේ වේගයෙන් ධාවනය කළ හැකි, වතුර භාවිතයක් රහිතව සුළඟ සහ ඉන්ධන පමණක් යොදාගෙන ධාවනය කරන්න පුළුවන් මෝටර් රථයක්. මොකද ඔහුට මේ කාර් එක අවශ්‍ය වුණේ දෙවෙනි ලෝක යුද්ධ සමයේ කාන්තාරවල මිලිටරි කටයුතු සඳහා යොදා ගන්න. 

මේ කරුණු සොයා බලපු පෝෂේ මහත්තයා රේඩියේටරයක් නැති සුළං මගින් එන්ජිම සිසිල් කරන වාහනයක් සැලසුම් කළා. වොක්ස්වැගන්වල විශේෂත්වය තමයි මොනතරම් වේගයෙන් ගියත් වාහනය පෙරළෙන්නෙ නැති එක. මොකද පිටිපස්සෙ රෝද දෙක හකුළලා ඇතුළට නෙරා යන විදියට හදපු නිසා වේගයෙන් වංගුවක් ගත්තත් වාහනය පෙරළෙන්නේ නැහැ. මේ විදියට හැදුණු පෝෂේ මහත්තයාගේ වොක්ස්වැගන් එකයි, හිට්ලර්ගෙ කටුසටහනයි බැලුවම දෙකම එක සමානයිලු.

පෝෂේ මහත්තයා මේ වාහනයේ කටුසටහන ඇඳලා කිව්වෙ වාහනයේ හැඩය අනූව ගර්භිණී කාන්තාවක් උඩු අතට නිදා ඉන්නවා වගේ කියලා.  නෙරා ගිය උදරයෙන් වහලේ හැඩය දිස්වෙනවා වගේම දෙකකුල් වලින්  ඉදිරිපස නිර්මාණය වෙලා තියෙනවා. හොඳම දේ කියන්නෙ හිට්ලර් මේ කාර් එක ගැන කිව්වෙ අපි හිතන්නෙවත් නැති කතාවක්. ඔහුගේ බිරිඳගේ ඉදිරි හා පසුපස නිරුවත සංකල්පීය වශයෙන් ගෙන වාහනයේ කටුසටහන නිර්මාණය කරපු බවයි. 

මිලටරි කටයුතු සඳහා නිපදවුණු මේ කාර් එකේ එන්ජිම තියෙන්නෙ කාර් එක පිටිපස්සෙයි. ඒ වේගය වැඩි කරගන්න වගේම ඉදිරියෙන් එන සතුරු ප්‍රහාරයකදී එන්ජිම ක්‍රියා විරහිත කර ගන්නයි. ඒ වගේම පිටුපස දොරවල් නැත්තේ වාහනයේ ශක්තිමත්භාවය වගේම මිලිටරි කටයුතුවලදී සිරකරුවකු වුණත් පහසුවෙන් ගෙනයන්න පුළුවන් විදියටලු. මොකද කාර් එකේ පිටුපස්සෙන් කිසිවිටකත් බැහැල නම් යන්න බැහැ. එහෙම බහිනවා නම් අනිවාර්යෙන්ම රියදුරු අසුනට එහා පැත්තෙ තිබෙන වම්පස අසුන කඩා ඉඩ ගැනීමෙන් මිසක වාහනයෙන් බහින්න නම් බැහැ. 

මේ වගේ තාක්ෂණයක් යොදා වොක්ස්වැගන් නිම කළත් අවසානයේ හිට්ලර්ගේ කුරිරු නාසිවාදය සඳහා රථය යොදාගැනීම නිසා පෝෂේ මහත්තයගෙ හිතේ යම් කනස්සල්ලක් ඇති වී තිබෙනවා. පස්සෙ ඒක දරාගන්න බැරුව ඔහු ප්‍රංශයට පළා යනවා. පසු කලෙක පෝෂේ මහත්තයා නාසි යුද කටයුතු පිළිබඳ වගඋත්තරකරුවෙක් ලෙස චෝදනා ලැබුවත් ඉක්මනින් ඒ චෝදනාවලින් නිදහස් වෙලා නැවත මෝටර් රථ ව්‍යාපෘතියට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණලු. 

ඉන්පසු කාලයේ වොක්ස්වැගන් සංස්කෘතිය ලෝකයේ සෑම රටකටම වගේ බලපෑවා. පසුව වොක්ස්වැගන් බීට්ල් සංස්කෘතිය ලෝකයේ බොහෝ රටවලට පොදු දෙයක් වුණා. වොක්ස්වැගන් කියන්නේ තනි මොඩ්ල් එකක් විදියට ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ කාර් එකයි. ඒකට හේතු වෙන්න ඇති මේ කාර් එකේ තියෙන හුරුබුහුටිකම. බීට්ල් මිලියන 21ක් විතර රටවල් සෑහෙන ගණනක අලෙවි වූ නිසා ලෝකය පුරා බීට්ල් ඉතිරිවෙලා තිබෙනවා. 

ඉස්සර වොක්ස්වැගන් මිලදී ගනිද්දි තව අශ්වබල 1200ක එන්ජිමක් නොමිලේ ලබා දී තිබෙනවා. ඒ මේ කාර්වල එන්ජිම හිටිගමන් ගිනිගන්න අවදානමක් තිබුණ නිසාලු. කාර් එකේ මැනුවල් එකේ පවා තනියම කුඩා ළමුන්ව කාර් එකේ දමා යන්න එපා කියා සටහන් වී තිබුණලු. ඒ පෙට්‍රල් කාබරේටර් එකෙන් ඕවර්ෆ්ලෝ වෙලා ගිනිගන්න නිසා. නමුත් දැන් ඒකට විසඳුමක් විදියට ගිනි ගන්න තැන පුනීලය ළඟින් සීල් කරනවා. 
ලංකාවට වොක්ස්වැගන් ආනයනය කළේ Colombo Car Mart ආයතනයයි. ඒ කාලයේ ජර්මනියෙන් කාර්මිකයො ගෙන්වලා අපේ රටේ කාර්මිකයො පුහුණු කරලා තිබෙනවා.

ඒ වගේම වොක්ස්වැගන්වල එඩිෂන් කිහිපයකුත් තිබෙනවා. මුල් කාලයේ වොක්ස්වැගන්වලට තිබුණේ වෘක පෙනුමක්. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව පිහිටි නගරය හැඳින්වූවෙත් වුල්ෆ්බර්ග් නමින්. මුල් යුගයේ වොක්ස්වැගන්වල ලාංඡනයේ සුවිශේෂී ලකුණු 2ක් දක්නට තිබුණා. ඒ දොර විවර කරන සලකුණ සහ දොර වසා තිබූ සලකුණයි. මාලිගාවේ දොර වසා තැබූ වොක්ස්වැගන් බිහිවූයේ දෙවන ලෝක යුද සමයට පෙරයි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඒ ලැබූ නිදහස පෙන්වීමට මාලිගාවේ දොර හැර ඇති වොක්ස්වැගන්  නිර්මාණය වුණා. වොක්ස්වැගන් එකට පැති කන්නාඩි දෙක පැමිණියේ ශ්‍රී වලින් පසුවයි. අද වෙද්දි වටිනාම වොක්ස්වැගන් එක වනුයේ 'කනේ මයිල්' යනුවෙන් මෙරට වහරින් හඳුන්වන එන්ජින් ධාරිතාව 1500 වන වොක්ස්වැගන් එකයි.

වොක්ස්වැගන්හි අටුවා ටීකා මෙසේ දිගහැරෙද්දි  VW Beetle Owners Club of Sri Lanka සමාජයට ස්තූති කරන්නම අවශ්‍යයි. ඒ සෑම වසරකම මේ වගේ ඉවෙන්ට් සංවිධානය කරන නිසාම අද වෙද්දි ලංකාව ඇතුළෙ වොක්ස්වැගන්වලට වෙනම සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා. ඒ වගේම මේ කාර්වල ආරක්ෂාවටත් එය උදව් වෙලා තිබෙනවා. මේ වසරේ මේ දිනයට සහභාගී වෙන්න නොහැකි වූ පිරිසට අපි ලබන වසරේ වොක්ස්වැගන් එකකින්ම ඇවිත් මේ සුන්දර අත්දැකීම විඳගන්න ආරාධනා කර සිටිනවා.

සරසි නෙත්මිනි

 



Recommended Articles