විශේෂ අධිකරණයේ මෙහෙයවීම අරලියගහ මන්දිරයෙන් - MR


වත්මන් ආණ්ඩුව විකුණන රාජ්‍ය සම්පත් මිලදී නොගන්නා ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (02දා) පැවසීය.

යම් රටක් ශ්‍රී ලංකාව සතු දේපොළ මිලදී ගෙන තිබුණහොත් ඊළඟට පත්වන ආණ්ඩුවට ඒවා යළිත් පවරා ගැනීමට සිදුවන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වීමට කාලය පැමිණ තිබෙන බවත්, අද ආරම්භ කළ ජනබල මෙහෙයුම ආණ්ඩුව පළවා හරිනතුරු ඉදිරියට ගෙන යන බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් කෙළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේ  සංවිධානය කර තිබූ ජනබල සේනා විරෝධතා රැලියට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

අරලියගහ මන්දිරයට ඇමතිවරුන් හා නීතිපතිවරයා ගෙන්වා විශේෂ අධිකරණ පත්කිරීමට නියමිත බවත්,එහිදී ඇමතිවරුන් නම් කරන පුද්ගලයන්ට දඬුවම්දීම හැර වෙනත් කාර්යයක් අගවිනිසුරුවරයාට ඉතිරි නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව වසර තුනක් තිස්සේ තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට නඩුදැමීම පමණක් සිදුකළ බවත්,මහබැංකු වංචාවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන්ගේ දරුවෙකුගේ විවාහ මංගල්‍යයකට රටේ නායකයෙකු ගොස් තිබෙන බවත් රාජපක්ෂ මහතා පැවසීය.

හමුදාවට පොලිස් බලය ලබාදී රට හමුදාකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්,එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධව කල්පනා කර බැලිය යුතු බවත් හෙතෙම පැවසීය.

ලිප්ටන් වටරවුමේ සිට විරෝධතා පාගමනින් පිරිස විහාරමහාදේවී එළිමහන් රංග පීඨයට පැමිණීමෙන් පසු රැලිය පැවැත්විණි.

ඡායාරූප-ඒශාන් ප්‍රනාන්දු



Recommended Articles