වැව් දිය පහසෙන් සැනහී සමනල කොමළිය හිනැහේ


වැසි සමය සක්‍රීය වීමත් සමග සමනලවැව ජලාශයේ ජල මට්ටම  පිටාර මට්ටමට  ළඟා වී තිබේ. 1985 වසරේ  ජලාශය තැනීමේ කටයුතු ආරම්භ වු අතර එය 1992 වසරේ වැඩ අවසන් කර දියවර පිරවීම ආරම්භ කෙරුණි. ලංකාවේ පවතින ජලාශයන් අතරින්  සමනළ වැව ජලාශය සම්පූරණ පිරී පවතිනු දැකිය හැක්කේ කලාතුරකින් බව බොහෝ දෙනා පවසති.

1992 වසරේ  සිට මේ දක්වා ජලය  පිටාර මට්ටමට අවස්ථා කීපයකදී   පැමිණ ඇති අතර වාන් දොරටු විවර කරනු ලැබ ඇත්තේ අවස්ථා දෙකකදී බව ප්‍රදේශවාසීහු පවසති.  මෙම ජලාශයේ  වාන් දොරටු විවර කිරීම  මුහුදු මට්ටමේ සිට මීටර් 455 දක්වා පැමිණි විට සිදු කරනු ලබන අතර   මේවන විට පිටාර මට්ටමට  මීටරයක් පහළින්  ( 454 )ජලමට්ටම පවතී.

 මෙම ජලාශයේ ටර්බයින් යන්ත්‍ර දෙකක් මගින්  විදුලිය මෙගාවෝට් 126 ජනනය කරන අතර මේ වනවිට ටර්බයින දෙකම ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහි කලාතුරකින් හෝ වාන් දොරටු විවර කරන්නේ නම්  ජලය වළවේ ගඟ ඔස්සේ උඩවලව ජලාශයට එක්වේ. 

සමනළ වැව ජලාශ වේල්ලේ සිට නන්පේරියල් කඳුවළල්ල සහ පරෙවියන්ගල ඇතුලු කඳු පෙළ මෙහිදී දර්ශනීයව දැක ගත හැකි අතර වේල්ලෙන් පහළ කල්තොට දක්වා දිවෙන  ප්‍රදේශයේ දර්ශනීය දසුන් පෙළක් දැක ගතහැකිය.

බෙලිහුල්ඔය එස්. රත්නායක

 



Recommended Articles