වඳ වී ගිය බවට සිතූ ’වල් කෑල’ ගෙවත්තකින් මතු වෙයි


කෑල විශේෂයට අයත් Bridelia stipularis-Phyllanthaceae (වැල් කෑල) ශාකය අවුරුදු 166කට පසු කෑගල්ලේ ගෙවත්තකින් සොයාගෙන තිබේ. මේ ශාකය තහවුරු කර ගැනීම වෙනුවෙන් පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියෙකු මෙන්ම පැළෑටි විශේෂ පිළිබඳ පර්යේෂකයෙකු වන භාතිය ගොපල්ලව මහතා මෙන්ම, ශාක පිළිබඳ විශේෂඥයන් වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ හා ප්ර දීප් රාජතේවා යන මහත්වරුන් දායක වී තිබේ. ඒ පිළිබඳ තතු 'සොබා බදාදා' වෙනුවෙන් භාතිය ගොපල්ලව මහතා මෙලෙස දැක්වීය.


“දේශීය ශාක වර්ග තවාන් කර අලෙවි කරන කෑගල්ලේ කැළුම් දුනුවිල මහතා දිනක් මට කතා කරලා කිව්වා කැට කෑල වැනි ශාකයක් ගෙනත් හිටවලා තිබෙනවා, නමුත් මේක ලොකු වන විට වැලක් වගේ හැදෙන්නේ කියලා. ඔහු මේ පැළයේ ජායාරූප කිහිපයක් අපිට එවලා තිබුණා. ඔහුට අහම්බෙන් තමයි මේ පැළය හමුවෙලා තිබුණේ. කැට කෑල කියල හිතලා ඔහු මාවනැල්ල පැත්තෙන් ගෙනාපු මේ පැළය ගැන කාලයක් තිස්සේ අපිට සැකයක් තිබ්බා. කොහොම හරි අපි මේ පැළේ මල් පිපෙනකන් බලන් හිටියා.

ළඟදී මේ පැළේ මල් පිපුණාම ඔහු අපිට ඡායාරූප කීපයක් එව්වා. අපේ අනුමානය පරිදිම අදාළ ශාකය Bridelia stipularis කියන ශාකය බව අපිට ඒ අනුව තහවුරු කරගන්න පුළුවන් වුණා. මේක එම විශේෂයම බවට තහවුරු කරගන්න හිමේෂ දිල්රුවන් ජයසිංහ සහෝදරයා සහ Flower Sri Lankaහී ප්ර දීප් රාජතේවා සහෝදරයා මාවනැල්ලේ අදාළ පැළ තවානට ගියා.

එහිදී ලබාගත් විස්තරාත්මක ඡායාරූප සමග මේ ශාකයේ අත්තක් ගම්පහ උද්භිද උද්යාලනයේ දුමින්ද මහතාට යොමු කර එය  Bridelia stipularis-Phyllanthaceae බවට තහවුරු කර ගනු ලැබුවා. අදාළ ශාකයේ නිදර්ශකයක් ජාතික ශාකාගාරයට වගේම, මල් පිපිලා හැදුණු ගෙඩි වලින් සහ Layer කරපු පැළ කීපයක් ගම්පහ සහ පේරාදෙණියෙ උද්භිද උද්‍යාන ලබාදෙන බව කැළුම් මහතා පැවසුවා.

Bridelia කියන ඝනයේ ශාක විශේෂ 3ක් හමුවෙනවා. ඒ තමා Bridelia mooni- පත් කෑල (ආවේණික), Bridelia retusa - කැට කෑල සහ මේ Bridelia stipularis වැල් කෑල. ඇත්තටම වැල් කෑල කියන නම අපි දාපු නමක්.

එයින් මේ වැල් කෑල ශාකය අනෙක් විශේෂ අතරින් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. මොකද එහි ඇති පඳුරුමය (වැලක් වගේ) ස්වභාවය නිසා. ඒ වගේම Stipuleවලින් සහ ද්විතීයීක නාරටි යුගල ගානෙන් තව දුරටත් එය අනෙක් විශේෂවලින් වෙන් කර හඳුනාගන්න පහසු වෙනවා. එනම් අනෙක් කෑල විශේෂවල නාරටි යුගල 12 හෝ 15ට වැඩියෙන් පිහිටනවා.

නමුත් මේ වැල් කෑල ශාකයේ නාරටි යුගල් පහක් හෝ හයක් තමයි පිහිටන්නේ. ඒ වගේම කොළේ යට පැත්තෙන් හොඳට එය පැහැදිලි වෙනවා. මේ ශාකයට stipularis යන නම ලැබෙන්නේ අලුතෙන් අතු හැදෙන විට එම අලුත් අත්ත ආරක්ෂා කරන්න Stipule නමින් හඳුන්වන ආවරණයක් වැනි ව්‍යුහයක් පිහිටනවා. මෙන්න මේ විශේෂ ව්‍යුහය නිසා තමයි මේ ශාකයට stipularis කියන නම ලැබෙන්නේ. අනෙක් ඒවායෙත් මේ වගේ Stipule පිහිටනවා. නමුත් අත්ත ලොකු වෙනකොට එය හැළී යනවා. මේ විශේෂයේ ජීවිත කාලය පුරාම හෝ දිගු කාලයක් එම Stipule දැකගන්න පුළුවන්.

මේ පැළ තවාන කරන කෙනාටත් මේ ශාකය කොහෙන්ද ගෙනාවේ කියල මතකයක් නැහැ. මේ විශේෂයේ අවසන් වරට වාර්තාව තියෙන්නේ 1866 අලගල්ල ප්‍රදේශයෙන්. මාවනැල්ල කියන්නේ අලගල්ලේ අනෙක් බෑවුම. ඒ නිසා මේ ශාකය මාවනැල්ලෙන් හමුවෙන්න වැඩි අවස්ථාවක් තිබෙනවා. අවසන් වරට 1866 වාර්තා වූ අවස්ථාවේ ලබාගත් නිදර්ශකවලින් අපේ රටේ ඇත්තේ එකම එක නිදර්ශකයක් පමණයි.

මෙහි එක් නිදර්ශකයක් එංගලන්තයේ ක්යූථ උද්යාදනයේ පවතිනවා. අනෙක් එක තිබෙන්නේ පේරාදෙණිය ශාකාගාරයේයි. එහි තිබෙන්නේත් ගෙඩි වල නිදර්ශකයක් පමණයි. මේ  විශේෂය 2020 රතු දත්ත ලැයිස්තුවේ CRPE කියන වඳ වී ගිය බවට සැක කරන කාණ්ඩයට ඇතුළත් වෙලා තිබෙන්නේ. (මොකද මේක හම්බුණේ Publish වුණාට පස්සෙ)  දැන් මේ ශාකය වාර්තා වීමත් සමග ඉදිරියේදී තර්ජිත කාණ්ඩයක් ලෙස සටහන් වනු ඇති. (බොහෝ දුරට EW-Extinct in Wild) දේශීය ශාකයක් වෙන මේ විශේෂය ලංකාවට අමතරව ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක වාර්තා තියෙනවා.

මාවනැල්ලෙන් වාර්තා වූ මෙම ශාකයෙන් ලබාගන්නා පැළ කිහිපයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයට ලබාදෙන බවට කැළුම් මහතා පොරොන්දු වී තිබෙනවා. මේ ශාකය බීජවලින් පමණක් නෙවෙයි ලේයර් ක්‍රමය හරහාත් බෝ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව අපිට මෙයින් පැළ කිහිපයක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ ශාකය හමුවන පරිසරය අනුව පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සාර්ථකව පැළ කරන්නට හැකියාවක් තිබෙනවා.”

ඡායාරූප - හිමේෂ් දිල්රුවන්

 



Recommended Articles