හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 529 ක් හා ශාක කොටස් රැසක් ජාන කොල්ලයක නිරතවීමේ අරමුණින් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද රුසියානු ජාතිකයන් තිදෙනෙකුට රුපියල් 8,655,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ජී. ජී. පී. ජයසිංහ මහතා ඊයේ (21දා) නියෝග කළේය.
මෙලෙස දඩ නියම වුයේ ඉග්නටෙන්කෝ ඇලෙක්සැන්ඩර්, රියාබෝ ආර්ටේම් සහ කිලෆයාන් නිකොලයි නැමැති රුසියානු ජාතිකයන් තිදෙනාහටය.
චෝදනා 102 සඳහා එක් අයෙකුට රුපියල් 2,885,000 ක් බැගින් තිදෙනාහට රුපියල් 8,655,000 ක දඩ මුදලක් ගෙවීමට මෙලෙස නියෝග කෙරිණි.
මෙම රුසියානු ජාතිකයන් තිදෙනා හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු සීගිරිය, දඹුල්ල, හබරණ, යාල, ගිනිගත්හේන, යාපනය ආදී මෙරට ස්ථාන රැසකින් එකතු කර ගන්නා ලද දැනට මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හුනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයින්, සමනලයන් ඇතුළු සත්ත්ව විශේෂ කාණ්ඩ 23 ට අයත් සතුන් 529 ක් හා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් විශේෂ බහාලුම්වල බහා නුවරඑළියේ සංචාරක නවාතැන් පොලක සඟවා තිබියදී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් 2020 වසරේ පෙබරවාරි මස 26 දින අත්අඩංගුවට ගෙන නුවරඑළිය අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
වසර දෙකකට ආසන්න කාලයක් පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, වනජීවී දෙපාර්තුමේන්තුව වෙනුවෙන් වන සත්ත්ව අඩවි ආරක්ෂක (1) ඒ. පී. ටී. කේ. ජයවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුව මෙහෙයවන ලදි.
වනජීවී දෙපාර්තුමේන්තු ඉතිහාසයේ මෙතෙක් අධිකරණයක් විසින් පැනවු වැඩිම දඩ මුදල හා වැඩිම චෝදනා සහිත නඩු තීන්දුව මෙය බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර, හොර්ටන්තැන්න වනෝද්‍යානයේ එවකට සිටි නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, එවකට සිටි වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වනසත්ත්ව නියාමක කේ. ජී. පී. ප්රියදර්ශණ, කේෂ්ත්‍ර සහායක උදය කුමාර, රියදුරු එස්. චන්ද්‍රලාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට රුසියානු ජාතික සැකකරුවන් තිදෙනා, සතුන් හා අනෙකුත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කොට මෙම නඩුව පවරා තිබිණි.
ශාන් හුලංනුගේ