පානදුර ඓතිහාසික තොරණ සෑම වසරකම සිරිලක සමස්ත ජනතාවගේ නෙත් සිත් ඇද ගන්න මහා නිර්මාණයක් ලෙස ප්‍රචලිතය.මෙවර එය
ලොව මෙතෙක් ඉදි වූ විශාලතම තොරණ ලෙසින් ලෝකයේම අවධානයට ලක් වන අතරේ ගිනස් වාර්තා අතරට ද එක් වන්නට සූදානමින් ලහි ලහියේ ඉදි වෙමින් තිබේ.
අභිමානවත් පානදුර බෞද්ධ පුනර්ජීවන නගරයේ නම ලොවට ගෙන යන්නට පානදුර ජයතිලක මාවතේ ඉදි වෙන එම තොරන් රාජයා උස අඩි අසූ දෙකකට වැඩි ප්‍රමාණයක් සහ පලල අඩි අසූ හයකට වැඩි ප්‍රමාණයකින් යුක්ත වේ.එය විදුලි බුබුළු එක්ලක්ෂ දස දහසකට ආසන්න ප්‍රමාණයකින් ද ඒකාලෝක වනු ඇත.
පානදුර එක්සත් පොදු වෙළද පොළ බෞද්ධ සමිතිය පරිත්‍යාගශීලීන්ගේ ද ආධාරැතිව මෙම ඓතිහාසික තොරන් රාජයා ඉදි කරන අතර පසුගිය වසරේ (2023) එය ශ්‍රී ලංකාවේ විශාලතම තොරණ ලෙස ද අභිෂේක ලැබීය.
පුවක් කොටන් යොදා ගනිමින් ලංකාවේ දැනට ඉදිකෙරෙන එකම තොරණ ලෙස සැලකෙන මේ සඳහා මෙවර පුවක් ගස් හාරසියයක් පමණ යොදා ගෙන ඇති අතර ඒවා බුලත්සිංහල , යක්කලමුල්ල , මතුගම ආදී ප්‍රදේශවලින් සපයා ගෙන ඇත.
වෙසක් පුන් පොහෝ දින සිට නන්දිවාණිජ කතා වස්තුව පිලිඹිබු කෙරෙන මෙම දැවැන්ත තොරණ ප්‍රදර්ශණය කිරීම සඳහා පනහකට ආසන්න පිරිසක් මේ දිනවල දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටිති.
මෙහි ප්‍රධාන නියමුවානන් වන පානදුර එක්සත් පොදු වෙළද පොළ බෞද්ධ සමිතියේ සභාපති දේශබන්දු ලංකාපුත්‍ර මහේෂ් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්
" මෙවර තොරණ අඩි 82 ක් උසයි පළල අඩි 86 යි. කටු තොරණ සදහා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පුවක්ගස් 400 කට වැඩි ප්‍රමාණයක් යොදාගැනුනා. මෙවර ලංකාවේ ඉදිකරන කිසිදු විශාල තොරණක් සදහා පුවක්ගස් උපයෝගී කරගන්නා බව දැනගැනීමට නැහැ. විදුලි බුබුළු එක්ලක්ෂ දසදහසකින් පමණ තොරණට ආලෝකය සැපයෙනවා.
බුරුමය , චීනය, සිංගප්පුරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවත් තොරණ් ඉදිව ඇති නමුත් මෙතරම් විශාල තොරණක් ඉදිවූ බවට කිසිදු සාක්ෂියක් නැහැ.ඓතිහාසික තොරණ ගිනස් වාර්තා අතරට ගෙන යන්නට මේ දිනවල අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තිබෙනවා. කප්සිටවූ දින සිට සේවකයින් විශාල පිරිසක් දෛනිකව වැඩකරනවා. මෙවර තොරණේ විදහා දැක්වෙන්නේ නන්දිවානිජ ජාතක කථාවස්තුවයි.
මෙවරත් තොරණේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු කරනු ලබන්නේ ප්‍රකට කලාකරුවකු වන වර්ණගේ සසිත චතුරංග මහතායි. ඇක්රලික් තීන්ත යොදා ගනිමින් චිත්‍ර නිර්මාණය කිරීම මෙන්ම පුද්ගල චිත්‍ර ත්‍රිමාණ සිකුවින් භාවිතා කිරීමද විශේෂත්වයකි.
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්