ලක්ෂ 700ක ක්‍රීඩා භාණ්ඩ විනාශ මුඛයට


ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මිලදී ගත් රුපියල් මිලියන 70කට ආසන්න වටිනාකමින් යුත් ක්‍රීඩා ආම්පන්න තොගයක් ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පිටියේ හා රීඩ් මාවත හොකී ක්‍රීඩාංගණ ක්‍රීඩාගාරයේ උඩුමහලේ වසරකට වැඩි කාලයක් තිස්සේ දිරාපත් වෙමින් තිබෙන අයුරු ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතාගේ නිරීක්ෂණයට ඊයේ (23දා) ලක්විය.

මෙම නිරීක්‍ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලයක් තුළ අභ්‍යන්තර විගණන පරීක්‍ෂණයක් කර තමන්ට වාර්තාවක් බාරදෙන ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නියෝග කර සිටි බවයි. මෙසේ ගොඩගසා තිබෙන මෙම දැවැන්ත ක්‍රීඩා උපකරණ තොගය ඉදිරියේදී පාසල්, ක්‍රීඩා සමාජ හා ස්වේච්ඡා සංවිධාන වෙත බෙදාදීමට තමා විමර්ශනයෙන් පසුව කටයුතු කරන බවද ඔහු කීය.

මෙසේ ගොඩගසා ඇති ක්‍රීඩා උපකරණ තොගයට ක්‍රිකට්, දැල්පන්දු, බැඩ්මින්ටන්, කැරම්, ශාරීරික අභ්‍යාස උපකරණ, විද්‍යුත් කාල ගණක යන්ත්‍ර, ක්‍රීඩා විනිසුරුවන් යොදාගන්නා නලා ආදී ක්‍රීඩා උපකරණ රැසක්ද වෙයි. ඒ අතර දැල්පන්දු 2000ක්, ක්‍රිකට් ඉනි 2500ක්, නවීනතම කැරම් පුවරු 420ක්, ශාරීරික අභ්‍යාස උපකරණ දහස් ගණනක්, විද්‍යුත් කාල ගණක යන්ත්‍ර හා නලා 514ක් බැගින්ද වෙයි.

මේ පිළිබඳ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරු පැවසුවේ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මේ වනවිට ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොමැති බවයි. ක්‍රීඩා ආම්පන්න විශාල තොගයක් එම දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණ භූමියේ ඇති, ඒවා අසුරා රැගෙන ආ කන්ටේනර්වලම තබාගැනීමට සිදුව ඇතැයිද හෙතෙම පැවසීය.

තමන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන්ට මෙම ක්‍රීඩා භාණ්ඩ තොගය පිළිබඳ දැනුවත් කළත්, ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින්,

“මේක දැක්කාම මට විශාල කනගාටුවක් ආවා. මේ විනාශ වෙන්නේ රාජ්‍ය දේපළ. මේ සම්බන්ධයෙන් ගත යුතු නිවැරදිම ක්‍රියා මාර්ගය අරන් මේවා රටේ දුප්පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ක්‍රීඩා සමාජ හා ස්වේච්ඡා සංවිධානවලට බෙදලා දෙන්න මම නොපමාව පියවර ගන්නවා. ඊට කලින් මම ඒ ගැන දෙපාර්තමේන්තු මට්ටමින් අභ්‍යන්තර විගණනයක් කරනවා” යනුවෙන් කියා සිටියේය.

ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණය ප්‍රධාන දොරටුව අබියස කන්ටේනර් දෙකක හැරෙන්නට එහි ගොඩනැගිල්ලක කොරිඩෝවක් පුරා ද මෙසේ ගොඩගසා තිබෙන ක්‍රීඩා උපකරණ රැසකට මේ වනවිටත් අලාභ හානි සිදුව තිබේ. රීඩ් මාවත හොකී ක්‍රීඩාගාරයේ උඩුමහලේ තැන්පත් කර තිබෙන සෙසු ක්‍රීඩා භාණ්ඩ තොගයද මේ වනවිට දිරාපත් වෙමින් තිබේ.



Recommended Articles