ලංකාවේ ළාබාලතම පළාත් පාලන නියෝජිතවරිය - සචිනි කාරියවසම්


මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරමින් දිවයිනේ ළාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස වාර්තා පොත් අතරට යෑමට අනුරාධපුරයේ පදිංචි විසි එක් හැවිරිදි සචිනි නිමේෂා කාරියවසම් මෙනවිය පසුගියදා සමත් වූවාය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර නගර සභාවට සිරිමෙවන් උයන කොට්ඨාසයෙන් තරග කළ සචිනි නිමේෂා ඡන්ද 918ක් ලබාවැඩි ඡන්ද272කින් ජයග්‍රහණය කිරීමට සමත් වූවාය. මේ ඇය සමග අප කළ සංවාදයකි.

සචිනි,ඔබේ පවුලේ විස්තර මුලින් කිව්වොත්?

මගේ පියා දුර බැහැර පොලිස් ස්ථානයක පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරනවා. මව රජයේ රැකියාවක් කර විශ්‍රාම සුවයෙන් කාලය ගත කරනවා. මම පවුලේ වැඩිමලාත මට නංගි සහ මල්ලියෙක් ඉන්නවා. තවම ඒ අය ඉගෙනගන්නවා.

මැතිවරණයේ අපේක්ෂිකාවක ලෙස කවුද ඔබවයෝජනා කළේ?

මෙවර මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩි කර තිබූ නිසාත්, තරුණ කාන්තා නියෝජනයක් ගමට අවශ්‍යයි කියලා හිටපු කලාප සහකාර අධ්‍යක්ෂ සුසිල් සිරිසේන, විශ්‍රාමික විදුහල්පති මෛත්‍රීපාල වැනි ගමේ උගත් පිරිස යෝජනා කරලා දිරිගැන්නුවා,  පසුව අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී එච්.බී.සේමසිංහ, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ යන අය තමයි මෙම අවස්ථාව මට උදාකර දුන්නේ.

ඔබේ අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත්?

අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලෙන් තමයි මම ඉගෙන ගත්තේ. මමගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. මේ වනවිටවිශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටිනවා.

 
නගර සභාවේ මන්ත්‍රී ධුරයක් ලැබීමට තරම් ඔබ සුදුසුකම් සපුරා තිබෙනවාද?

පාසලේ ශිෂ්‍ය නායිකාවක ලෙස කටයුතු කළා. ගමේ ක්‍රීඩා සමිතියේ ලේකම් ධුරය දැරුවා. අපේ ගමේ ආගමික වැඩසටහන්, දන්සල්, අවුරුදු උත්සව වැනි පොදු කටයුතුවලදී මූලිකත්වය ගෙන ක්‍රියාකාරීව වැඩ කරනවා. ඒ නිසා නායකත්වයට බියක් දැනෙන්නෙ නෑ. උගත් බුද්ධිමත් පිරිසගේ සහයෝගය, අවවාද නිරන්තරයෙන් මට ලැබෙනවා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලන්න හිතුණේඇයි?

අනුරාධපුරයේ අපි පසුගිය කාලය පුරාවට බියෙන් කාලය ගත කළේ.අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ බෝම්බ ප්‍රහාරය, ජානක පෙරේරා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයවගේම රටේ තිබුණු තිස්වසරක යුද්ධය ගැන අප අසා දැක තිබෙනවා.30 වසරක යුද්ධය නිම කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මම කැමතිම දේශපාලන නායකයා එතුමායි. එතුමාගේ නායකත්වයෙන් යුතු පක්ෂයක වැඩපිළිවෙළක් අපේ ගමේ ක්‍රියාත්මක කරන්න ලැබීමත් ජීවිතයේ මම ලබන ලොකු භාග්‍යයක් ලෙස මම දකිනවා.

නගර සභාවේ මන්ත්‍රීවරියක් වෙලා ගම වෙනුවෙන්මොනවද කරන්නේ?

මන්ත්‍රී ධුරය ලැබෙන්න පෙර සිටම අපි පදනමක් පිහිටුවලා කොට්ඨාසයේ ජනතාවගේ ගැටලු හඳුනාගෙන, ගමේ පොදු වැඩ කටයුතු සඳහා ක්‍රියාකාරීව වැඩ කරනවා. ක්‍රියාකාරී මන්ත්‍රීධුරයක් ලැබුණොත් එය ගොඩක් පිටුවහලක් වෙයි ගමේ අයට වගේම කොට්ඨාසයෙන් පිටටත් වැඩ කරන්න.

ඡන්ද ව්‍යාපාරයේ නිරත වනවිට ගමේ අයගේ දායකත්වය හා අමතක නොවන සිදුවීම් එහෙම තිබෙනවාද?

සමහර ගෙවල්වලට යනකොට ඇතුළට ගත්තේ පොහොට්ටුවෙන්ද කියලා අහලා. පොහොට්ටුවෙන් නම් එන්න,නැත්නම් එපා කිව්වා. සමහර අය ඉදල අතට අරගෙන ආවා. සමහර අය ගෙවල්වලට ගියාම දෝෂාරෝපණය කළා පොහොට්ටුවට දෙන්නේ නැහැ කියලා. සමහර අම්මලා, අක්කලා, නංගිලා,මම ඡන්දය ඉල්ලන සතුටටමාවසිප වැලඳගත්තා. ඒ අය නිරන්තරයෙන් කියා සිටියේ තරුණ උගත් ළමයෙක් ඡන්දය ඉල්ලන එක සතුටුයි කියලා. එම නිසා මම තව තවත් ධෛර්යමත් වුණා. 

මෙම කොට්ඨාසයේ ඡන්දය ඉල්ලපු අනෙකුත් පේක්ෂකයන් ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

ලොකු අභියෝගයක් වුණා. අනෙක් ප්‍රධාන පක්ෂ තුනේ අය දැනගෙන හිටියා මම ජයග්‍රහණය කරනවා කියලා. අපේ කොට්ඨාසයේ එම පක්ෂ තුනේ අය එකතු වෙලා වැඩ කළා මාව වට්ටන්න. සමහරු ප්‍රචාරයක් ගෙන ගියා ළදරු දේශපාලනය කියලා. මාව මානසිකව වට්ටන්න ගොඩක් අය උත්සාහ කළා. පැහැදිලිවම අනෙක් අයගේ දේශපාලන ක්‍රියාකාරකම් මට ආශිර්වාදයක් වෙලා ඒ අයගේ ඡන්ද මට ලැබුණා. මගේ දෙමවුපියන් ගමේ ජනතාව සමග තිබූ බැඳීම, සහෝදරත්වය තමයිමේජයග්‍රහණයට ප්‍රධානම හේතුව වුණේ.

ඡන්දය දිනලා කියලා දැනගත්තාම මොනවද දැනුණේ? මුලින්ම කාටද ඒ ගැන කිව්වෙ?

ඡන්දය ගණන් කරන මධ්‍යස්ථානයක තමයි මම හිටියේ. එම මධ්‍යස්ථානයේ ඡන්දය ගණන් කළාට පස්සේමම දැනගත්තා එම ඡන්ද මධ්‍යස්ථානයේ මම ජයග්‍රහණය කර තිබෙන බව. තවත් තැනක දැනගත්තා මට ඡන්දය වැඩියි කියලා. පසුව දැනගත්තා කොට්ඨාසයේම මම ජයග්‍රහණය කර තිබෙන බව. මගේ සතුට තවම පිටකරගන්න බැහැ. අම්මා, තාත්තා එක්ක සේමසිංහ මහත්මයාගෙ ගෙදර ගියා, ඒ අයට ජයග්‍රහණය ගැන කියන්න. යන විටත් ඒ අය දැනගෙන ඉවරයි මම දිනලා කියලා. මැතිවරණ ජයග්‍රහණය සමරලා පෙළපාළි ගියේ නැහැ. අපේ ගෙදරට මුළු ගමේම අය පිරුණා, එය මගේ ජීවිතයේ අමතක නොවන දවසක්.

2018 පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ ළාබාලම කාන්තාව කියලා දැනගෙන ඉහළ පෙළේ පක්ෂ නායකයන් කතා කළාද?

නැහැ, කතා කළේ නෑ. මම හිතන්නේ ඒ අය එහෙම දෙයක් දන්නේ නැතුව ඇති.

ජීවිතේ පළමුවතාවට ළාබාල තරුණියක් ලෙස පරිණත දේශපාලනඥයන් සමග නගර සභාවේ එකට වැඩ කටයුතු කරන්න සූදානම් ද?

ඒ පිළිබඳ ලොකු චකිතයක් දැනෙනවා. අපේ පක්ෂයේම තරග වැදුණු නීතිඥ රංජිත් රාජකරුණා මහතා අලුත් අපේක්ෂකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කිව්වා. එයට සහභාගි වී දැනුම ලබාගන්නවා. ටික දවසක් යන විට එම චකිතය නැතුව යයි. ඒ පරිණත අයත් ගොඩක් හිතවත් වේවි කියලා මම හිතනවා.


අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

මා ඉහත මතක් කළ අයට අමතරව ගමේ මගේ යාළුවන්, නෑදෑයන්, ප්‍රදේශයේ සිටින ගුරුභවතුන් මට ගොඩක් උදව් කළා. විශේෂයෙන් කිව යුතුයි මේ කොට්ඨාසය හා ඉන් පිටත තරුණ පිරිස් ගොඩක් කැප වෙලා ඡන්ද ප්‍රචාරක වැඩවල නිරත වුණා. ගමේ බොහෝ අය හිටියා පරම්පරාවෙන් කැපුවත් නිල්, කැපුවත් කොළ, රතු කියලා. එවැනි බොහෝ පිරිසක් ජීවිතයේ ප්‍රථම වරට මම නිසා පක්ෂය මාරු කරලා මේ පාර පොහොට්ටුවට ඡන්දය දුන්නා. හිටපු නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු මට සහයෝගය ලබාදී මාව දිරිමත් කළා, අවවාද ලබා දුන්නා. මම ඒ අයටත් හිස නමා ආචාර කරනවා. 

 KDP_4999 KDP_5002 KDP_4994 KDP_4904   

KDP_4840

ඡායාරූප - චානුක කුලසේකර

 

tharunaya logo newly2 [Converted]  පුවත්පතින්



Recommended Articles