රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 05 වැනි දින පෙ.ව. 11.00 ට විවෘත කිරීමට නියමිතයි.
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය 2014 වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ කළේ වර්තමාන ජනාධිපති, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුවය. 2015 වසරේ දී මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු නතර කෙරුණු අතර නැවත මෙහි ඉදිකිරීම් කටයුතු 2016 වසරේ මැද භාගයේ දී ආරම්භ කෙරිණි.
පෙර විකුණුම් පදනම මත ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම නිවාස සංකීර්ණයේ නිවාස 608 ම මේ වන විට විකිණී අවසන්වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ වැ.බ. නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දේපල හා ඉඩම් කළමණාකරන) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත මහතා ප්‍රකාශ කරයි. සමස්ථ ව්‍යාපෘතිය සඳහා මූලික ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 5500 ක් විය.
නිදන කාමර 3 කින් සමන්විත නිවාස 304 කින් සහ නිදන කාමර 2 කින් සමන්විත නිවාස 304 කින් මෙම මහල් නිවාස සංකීර්ණය සමන්විතයි. මෙහි එක් නිවාස වර්ගයක් වර්ග අඩි 680 ක් වන අතර අනෙක් නිවාස වර්ගය වර්ග අඩි 880 ක් වේ.
අංග සම්පූර්ණ මෙම මහල් නිවාස සංකීර්ණය තට්ටු 25 කින් සමන්විතයි. රථ ගාලක්, ළමා උද්‍යානයක්, ව්‍යායම් මධ්‍යස්ථාන 2 ක්, වෙළෙඳ සංකීර්ණයක්, පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින් මෙය සමන්විත වේ.
වනාතමුල්ලේ පිහිටි පී. සරණමුත්තු ක්‍රීඩාංගනය (ඕවල්) අසලම මෙම නිවාස සංකීර්ණය පිහිටා ඇත. වසර 15 ක් වසර 20 ක් රාජ්‍ය සේවයේ යෙදී සිටින නිලධාරීන් සහ සේවකයින් මෙම නිවාස මිලදී ගෙන ඇති බවත් ඔවුන් සහන ගෙවීමේ ක්‍රමයට ණය පහසුකම් ද සමඟින් මෙම නිවාස ලබා ගෙන තිබෙන බවත් වැ.බ. නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දේපල හා ඉඩම් කළමණාකරන) ඊ.ඒ.සී. ප්‍රියශාන්ත මහතා ප්‍රකාශ කරයි.
නාගරික නිවාස ප්රශ්නය මේ වන විට ශ්‍රී ලංකාවේ මූලික ගැටළුවක් බවට පත්ව ඇති අතර කොළඹ හා තදාසන්න නගරයන්හි පවතින ඉඩම් හිඟය, අධික මිල හමුවේ මෙය තවදුරටත් ගැටළු සහගත වී ඇත.
නමුත් රාජ්‍ය හා පෞද්ගලික යන අංශයන්හි රැකියා අවස්ථාවන් මෙන්ම නිෂ්පාදන ක්ෂේත්රය ද විසිරී ඇත්තේ කොළඹ හා එය කේන්ද්‍ර කරගත් තදාසන්න නාගරික ප්‍රදේශයන්හිය. ශ්‍රී ලංකාවේ දළ දේශිය නිෂ්පාදනය පිළිබඳව සළකා බලන විට මෙය වඩාත් විද්‍යාමාන වේ.
ඒ අනුව, කොළඹ හා තදාසන්න නාගරික ප්‍රදේශයන්හි පවතින අධික නිවාස ඉල්ලුම හා සීමිත භූමි පරිහරණ රටාව තුළ මෙම ඉල්ලීමට අනුව නිවාස සැපයීම ගැටළු සහගත වී ඇත. ඒ අනුව පැහැදිලි වනුයේ අධික දුර බැහැර ප්‍රදේශයන්හි සිට රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම පිරිස් නාගරික ප්‍රදේශ කරා දෛනිකව පැමිණෙන බවකි.
කෙසේ වුවද, මෙම තත්ත්වය පැහැදිලිව හදුනාගත් නාගරික සංවර්ධන අධිකාරිය එහි මූලික පියවරක් ලෙස කොළඹ නාගරික බල ප්රදේහයන්හි අවිධිමත් ජනාවාස පුනස්ථාපනය කර එම ජනතාව වෙත අංග සම්පූර්ණ මහල් නිවාස ලබා දීමේ වැඩසටහන 2010 වර්ෂයේදී ආරම්භ කරන ලදී. එමගින් ඌන උපයෝගී ඉඩම් ප්රශස්ත නාගරික සංවර්ධනය සඳහා භාවිතා කිරීම අපේක්ෂිත විය.මෙහි ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම ලෙස ඇක්සස් ඉංජිනේරු සමාගම කටයුතු කර ඇත.