රනින් නැමැවුණු පහන් කූඩුව


පොසොන් උත්සවය නිමිති කොටගෙන රනින් කරන ලද පහන් කූඩුවක් තලාව කුරුදුගහහැතැම්ම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිර්මාණය කර තිබේ.

ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරත තලාව, කුරුදුගහහැතැම්ම ප්‍රදේශයේ චමිල ප්‍රදීප් කුමාර (40)  මහතා මෙම පහන් කූඩුව නිර්මාණය කර ඇති අතර එය පරිවාර කූඩු හයකින් සමන්විතය.

පහන් කූඩුව නිර්මාණය කිරීම සඳහා  රත්‍රන් ග්‍රෑම් 180ක් පමණ වැය කර ඇති අතර එහි  වටිනාකම රුපියල් ලක්ෂ අටහමාරකට අධික වේ.

මෙය සැකිලි දෙකකින් සහ භ්‍රමනය වීමේ හැකියාවද සහිතව නිර්මාණය කොට තිබීම සුවිශේෂි වේ.

 නිර්මාණය ගැන අදහස් දැක්වූ නිර්මාණකරු චමිල් ප්‍රදීප් මහතා,

“ඇත්තටම මට අලුත් දෙයක් කරන්න අවශ්‍ය වුණා. මම දැනට වසර ගණනාවක් තිස්සේ ස්වර්ණාභරණ කර්මාන්තයේ නිරතව සිටිනවා. රන් භාණ්ඩ වැඩ කිරීමේදී එකතු කරගත් රන්වලින් තමයි මේ නිර්මාණය කළේ. මදිපාඩුවට මුදල් දීලා රත්‍රන් මිලදී ගත්තා. මේ පහන් කූඩුව නිර්මාණය කිරීමට මට මාස හයක විතර කාලයක් ගියා. ඇත්තටම පහන් කූඩුවේ සියල්ල නිර්මාණය කළේ මගේ දෑතින්. මෙක ඉතා සියුම් නිර්මාණයක්. පොසොන් පෝයට සතියකට කලින්  තමයි වැඩ අවසන් කළේ. මෙම කූඩුවේ බර ග්‍රෑම්150ක් විතර ඇති. පොල්වත්ත ඕවකන්ද  ශ්‍රි ජයබෝධි විහාරස්ථානයේ දී  මුලින්ම ප්‍රදර්ශනය කළා. ඊට පස්සේ   ඌරගහ හිපන්කන්ද ක්‍රීඩාපිටියේත් ප්‍රදර්ශනය කළා. මෙරට පළමු වරට රනින් නිර්මාණය කළ පහන් කූඩු මෙය වෙන්න ඇති. මේ සඳහා මගේ  බිරිඳ මට විශාල සහයෝගයක් ලබාදුන්නා “යැයි පැවසීය.

ජිනේශ් නානායක්කාර

 



Recommended Articles