රදැල්ල කෙටි මාර්ගයේ ගමන් කිරීමට අවසර හිමි වාහන


හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය හරහා ටොන් පහට වඩා බර අඩු වාහන වලට අද (08දා) දින සිට එම මාර්ගයේ රථ වාහන ධාවනයට මාර්ග සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් භාර විධායක ඉංජිනේරුවරයා විසින් අවසර ලබා දි ඇති බව නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

2022.01.20 දින නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් 07 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලැබිම හේතුවෙන් එම මාර්ගයේ බර වාහන ධාවනය ඊයේ (07) දින දක්වා තාවකාලිකව නතර කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් පියවර ගෙන තිබුණි.

බර වාහන ධාවනය නතර කල දින සිට එම මාර්ගයේ ගමන් ගත් බර වාහන සියල්ලම රදැල්ල කිරිමැටිය වට රවුම් මාර්ගයේ ධාවනය කරවිමට පොලිසිය පියවර ගෙන තිබුණි.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන සුපොගභෝගි බස් රථ හිමියන් වටරවුම් මාර්ගයේ බස් රථ ධාවනය කිරිම තුලින් තමන්ට පාඩු සිදු වන බවත්, එම බස් රථ වල ගමන් කරන්නේ නුවරඑලිය සහ හැටන් ප්‍රදේශවල රජයේ ආයතන වල සේවය කරන සේවකයින් නිසා ඔවුන්ට නිසි වේලාවට සේවා ස්ථානවලට යාමට නොහැකි නිසා ටොන් පහට වඩා අඩු වාහන පමණක් රදැල්ල කෙටි මාර්ගයේ සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනයට අවසර ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් විධායක ඉංජිනේරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම ඉංජිනේරුවරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශයේ නිලධාරින්ගේද නිර්දේශයක් මත ටොන් පහට වඩා බර අඩු වාහන වලට අද (08) දින සිට එම මාර්ගයේ ධාවනයට අවසර ලබා දි ඇත.



Recommended Articles