රටට අවශ්‍ය වන්නේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක්


ආර්ථික වටිනාකම් ඇති ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශ හෝ භෞතික සම්පත් වෙනත් රටවල් සතු නොකළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ (08දා) සවස පැවැති %වියත්මඟ^ සංවිධානයේ වාර්ෂික සම්මේලනය අමතමිනි.

වඩා වැදගත් විය යුත්තේ රටට විදේශීය ආයෝජන රැගෙන ඒමේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය කුමක්ද යන්න තීරණය කිරීම වන බවට එහිදී පෙන්වා දුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා, නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණ ශ්‍රමිකයන් රට යැවීම තුළ රටේ ගෞරවය ආරක්‍ෂා වන බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ ඒ මහතා,

"රජයක අරමුණ විය යුත්තේ ඵලදායී ක්‍රමවේදයක් තුළ සැමට සතුටින් සිටිය හැකි පවුලක් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි. එහිදී දේශීය අභිමානය සුරකිමින් ගෞරවනීය පාලනයක් යළි ස්ථාපිත කළ යුතුයි. cc එසේම ඔවුන් සඳහා දේශීය විදේශීය දැනුම නව තාක්‍ෂණය හා අනුබද්ධව ලබාදිය යුතු වෙනවා.

වටිනාම දේ වන්නේ අපේ අනාගත පරපුරයි. මානව සම්පත සංවර්ධනය රජයක මූලික වගකීමක්. අවශ්‍ය පරිපූර්ණ දැනුම ඔවුන්ට ලබාදීම පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි. එසේම බලශක්ති හා පුනර්ජනනීය ක්‍ෂේත්‍රය පිළිබඳ අප තවදුරටත් අධ්‍යයනය කල යුතුයි.

වන සංරක්‍ෂණ, වෙරළ සංරක්‍ෂණය, කසළ කළමනාකරණය වැනි දේ ජාතික ප්‍රතිපත්තියකට ඇතුළත් කළ යුතු වෙනවා. පරිසර කළමනාකරණය ඉතා වැදගත්. ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කරමින් වැඩසටහන් දියත් කිරීම අවශ්‍යයි.

රටට අවශ්‍ය වන්නේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක්. දියුණුවත් සමග ජනතාවට ගෞරවනීය ජීවන තත්ත්වයක් හිමිවිය යුතු බවට මම තරයේ විශ්වාස කරනවා. එක් රටක් තුළ ක්‍රියාත්මක විය යුත්තේ එක් නීතියක් පමණයි. නීතිය සැමට එක සමාන විය යුතුයි.

දේශපාලකයාගේ වගකීම විය යුත්තේ ජනතාවට අවශ්‍ය දේ වටහාගෙන එය රාජ්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් කිරීමයි. පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා දේශපාලකයා දක්‍ෂ විය යුතුයි වගේම දක්‍ෂ පරිපාලකයන්ගේ සහාය ඊට ලබාගත යුතුයි.

මම මගේ රටට ආදරෙයි. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. සෞභාග්‍යමත් රටත් ගොඩනැගීම සඳහා අපි එකට එක්ව වැඩ කරමු" යනුවෙන්ද පවසා සිටියේය.

 ඡායාරූප - ඉසුරු පෙරේරා



Recommended Articles