මෛත්‍රීගේ සහාය ෆෝ ඉල්ලයි


සීෂෙල්ස්හි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ සඳහා සහාය දක්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා ඉල්ලීමක් කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනද ඩැනී ෆෝ මහතාගේ අවධානයට ලක්ව තිබේ.

සීෂෙල්ස් ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනය පරිදි සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සීෂෙල්ස් ජනාධිපතිවරයා අතර පැවැති නිල සාකච්ඡාවේදී මෙම ඉල්ලීම් කර තිබේ.

මෙම හමුව අද පස්වරුවේ පැවැත්විණ. දෙරට අතර අතර වෙළඳ සහ සංචාරක ක්ෂේත‍්‍රයේ සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට දෙරටේ නායකයන්ගේ අවධානයට ලක්ව ඇත.

සීෂෙල්ස් වෛද්‍යවරුන්ට ශ‍්‍රී ලංකාවේ පුහුණු අවස්ථා ලබාදෙන ලෙසත් එරට ආරක්ෂක හමුදාව සඳහා ශ‍්‍රී ලංකාව තුළ හමුදා පුහුණු අවස්ථා ලබාදීමට සහය වන ලෙස  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම අධිකරණ සහ නීති කෙටුම්පත් අංශ සඳහා අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට සහයවන  ලෙසත් ඉල්ලීමක් කර තිබේ.

ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සොයා බලන බවත් සීෂෙල්ස් සිසුන්ට වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රයේ ශිෂ්‍යත්වය 10 ක් වාර්ෂිකව ලබාදීමට කටයුතු කරන බවත්ය.

සීෂෙල්ස් රාජ්‍ය සහ ශ‍්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබ`දතා 1988 ඔක්තෝබර් 03 වන දින ආරම්භ කෙරිණි. සීෂෙල්ස් හි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ස්ථාපිත කෙරුණේ 2013 වසරේ දී ය.

ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 2400 ක පමණ පිරිසක් සීෂෙල්ස් රාජ්‍යයේ සේවය කරයි.



Recommended Articles