මුතුරාජවෙල පර්චස් 126000ක් ව්‍යාපාරිකයෙක් බලෙන් අල්ලාගෙන?


ඇතැම් ව්‍යාපාරිකයින් හා ප්‍රදේශවාසීන් විසින් හිතූමනාපෙට මුතුරාජවෙළ ගොඩ කිරීම නිසා මේ වනවිට දැවැන්ත පාරිසරික ගැටළු ගණනාවක් උද්ගත වෙමින් තිබෙන බව මුතුරාජවෙළ සුරැකිමේ පරිසර සංවිධාන විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබිනි.

ඒ අනුව ඊයේ (18) අමාත්‍යවරයා අදාළ වගකිව යුතු නිලධාරින් සියලු දෙනා සමග මුතුරාජවෙළ තෙත්බිම පරීක්ෂාවට ලක් කළ අතර එහිදී පෙනී ගිය කාරණය වුයේ මුතුරාජවෙළ අවට දැවැන්ත පරිසර විනාශයක් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් හා ප්‍රදේශවාසීන් විසින් සිදු කරමින් තිබෙන බවය.

­­­

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාංසිහ මහතා මෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව , වනජීවි නිලධාරින් , ගම්පහ පරිසර නිලධාරි හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරිහු විශාල පිරිසක් සහභාගි වූහ.

එක්තරා ව්‍යාපාරිකයෙක් විසින් අනවසරයෙන් මුතුරාජවෙළ තෙත් බිම අවට ඉඩම් පර්චස් 126,000ක් බළාත්කාරයෙන් අල්ලාගෙන සිටින අතර ඔහු විසින් කිලෝමීටර් 10ක පමණ පිහිටි ඉඩම් පුද්ගලික ඉඩමක්- ඇතුල්වීම තහනම් යනුවෙන් දැන්වීම් පුවරු සවිකර ඇති බව පරිසරවේදීහු පෙන්වා දුන්හ.

මීට අමතරව ඌරු කොටු වලින් බැහැර කරන අපජලය හා වෙනත් අපවිත්‍ර ද්‍රව්‍ය ද මුතුරාජවළ තෙත් බිමට පොම්ප කරන අතර තවත් කර්මාන්ත ශාලාවකින් බැහැර කරන උනු කළ යකඩ, තඹ, පිත්තල අපද්‍රව්‍ය සියල්ලම ටොන් ගණනින් මුතුරාජවෙළට බැහැර කර ගොඩ කරන ආකාරය අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

මෙම මානව ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී බලපා ඇති ප්‍රධාන ගැටළුව වන්නේ මෙතෙක් මුතුරාජවෙළ අභය භූමියට අයත් බිම් ප්‍රමාණය කෙතෙක් දැයි මැණ ඒවා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නොතිබීමය.

එමනිසා වහාම මුතුරාජවෙළ තෙත් අභයභූමියට අයත් ඉඩම් මැන ඒවා ගැසට් කිරීමට පියවර ගන්නා ලෙස ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරියට අමාත්‍යවරයා විසින් උපදෙස් දුන්නේය. අභයභූමියට අයත් ඉඩම් හඳුනාගැනීමෙන් අනතුරුව එම සීමාව තුළ කිසියම් පුද්ගලයෙක් අනවසර ඉදි කිරීම් හෝ ගොඩ කර අත්පත් කර ගෙන ඇත්නම් ඊට එරෙහිව තරාතිරම නොබලා නීතිමය වශයෙන් දඩුවම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම දැනට රටේ ඇති සියලුම අභයභූමිවල මෙම තත්ත්වය පවතින්නේ නම් ඒ සම්බන්ධව කටයුුතු කිරීමට තමන් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



Recommended Articles