මිහින්තලා අභය භූමියට අයත් වනජීවී කලාපයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කරමින් මහා පරිමාන පරිසර හානියක් සිදුකරමින් ස්ථිර නිවාස හා නිවාඩු නිකේතන ඉදිකර ඇති බවත්මිහින්තලය නගරවාසීහු පෙන්වා දෙති.
වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු විසින් මෙසේ වනජීවී කලාපයේ අක්කරයක පමණ කොටසක් එළිපෙහෙළි කර තෙමහල් ගොඩනැගිල්ලක්ද ඉදිකරමින් පවතින බවත් මිහින්තලය නගරවාසීහු පෙන්වා දෙති.
අනුරාධපුර ත්‍රිකුණාමලය ඒ -12 මාර්ගයේ පිහිටි පුරාවිද්‍යා කාර්යාලයට (කනිෂ්ඨ විද්‍යාලය පිටුපස කොටස) පිටුපසින් විශාල වන විනාශයක් සිදුවී ඇති බව නගරවාසීන් පෙන්වා දෙන අතර,අදාළ කලාපයේ ස්ථිර ගොඩනැගිලි ඉදිවන අයුරුද දැකගත හැකිවිය.
අමාත්‍ය ලේකම්වරයෙකු බව කියන කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් එම භූමියේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටින අතර,පොලිස් නිලධාරියෙකු වනජීවී රක්ෂිතය විනාශයට පත්කරමින් කැලෑව එළිපෙහෙළි කර ඉඩම් සකසා විකුණන ජාවාරමට සම්බන්ධවී සිටින බවටද නගරවාසීහුචෝදනා කරති.
ලොව ප්‍රථම අභය භූමිය ලෙස සැලකෙන මිහින්තලා වනජීවී කලාපය අක්කර දෙදහසකට වැඩි භූමියකින් සමන්විත අතර, කාලයාගේ ඇවෑමෙන් එහි ජනාවාස බොහෝමයක් ආරම්භවී තිබේ.
මේ සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ශාස්ත්‍රපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී අදහස් පළකළ උන්වහන්සේ,
“මම වනජීවී ඇමතිවරයාට මේ පිළිබඳ ලිඛිතව දන්වලා තියෙනවා මිහින්තලා වනජීවී කලාපය ශීඝ්‍රයෙන් එලිපෙහෙළි වෙනවා කියලා.නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නෑ.විල්පත්තුව ජාතික වනෝද්‍යානයට වුණාට වැඩිය විනාශයක් දැන් මිහින්තලා වනජීවී කලාපයට සිදු වෙනවා.රජයේ වගකිවයුතු නිලධාරීන් කිහිප දෙනෙක් මුදල් අරගෙන ජාවාරම්කරුවන්ට උදව් කරනවා.
දැන් කැලය එළිපෙහෙළි කරගෙන කරගෙන ඉස්සරහට යනවා.කවදහරි ඔවුන් නවතින්නේ පුරාණ චෛත්‍යයක් වන ගිරිභණ්ඩ චෛත්‍යය හා බහිරව ගල ආසන්නයෙන්.මෙතන හොඳයි සංචාරක හෝටලයක් හදන්න කියලා සංචාරක හෝටලයක් හදයි.මම මිනිස්සු පදිංචි වෙනවට ඊර්ෂ්‍යාවෙන් මේ දේවල් කියනවා කියලා කියයි.මේ අපේ උරුමය විනාශ වෙන්නේ.ලංකාවට බුද්ධාගම ගෙනාපු තැන.ලෝකයේ ප්‍රථම අභය භූමිය* යනුවෙන් කියා සිටියහ.
මිහින්තලා වනජීවී කලාපය තුළ දැනට අළුතින් ඉදිකරන තෙමහල් ගොඩනැගිල්ලේ හිමිකරුවන කොළඹ ප්‍රදේශයේ පදිංචි අමාත්‍යාංශ ලේකම්වරයෙකු බව කියන සමන් විතානගේ මහතාගෙන් දුරකථනයෙන් විමසීමක් කළ අතර, ඒ සඳහා පිළිතුරු දුන් ඔහු,
“මම අමාත්‍යාංශ ලේකම් කෙනෙක් නෙමෙයි.මම මහාචාර්යවරයෙක්.ඔය ගොඩනැගිල්ල තියෙන ස්ථානය වනජීවී කලාපයට අයත් නෑ.කණු දාලා තියන කෑල්ලෙන් ඔබ්බට වනජීවි කලාපය තියෙන්නේ.මම දන්න විදියට ඔයා ඉඩමේ මුල්ම අයිතිකරු පොලිස් නිලධාරියෙක්. ඔහු කීප දෙනෙකුට විකුණලා තුන්වෙනියාගෙන් තමයි මම සල්ලි දීලා ගත්තේ.මගේ නිවසයි, මම පවත්වාගෙන යන පදනමයි තමයි ඔතන හදන්නේ" යනුවෙන් කියා සිටියේය.
එප්පවල තිසර සමල්