මාවතගම වගාවන්ට හානිකරන නව පළගැටි විශේෂයක්


මාවතගම නගරය ආසන්නයේම පිහිටි ප්‍රැන්සිස්කෝවත්ත ප්‍රදේශය පුරා වගාවට හානි කරමින් දහස් ගණනින් පැතිර යන ආගන්තුක පළඟැටි විශේෂයක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

හසුවෙන සෑම ශාකයක්ම කා දමමින් දහස් ගණනින් පැතිරෙමින් පවතින මෙම පළඟැටි විශේෂය මේවනවිට ප්‍රදේශයේ පොල් වගාවටද හානි කිරීමට පටන්ගෙන තිබෙයි.

 ලා කහ පැහැයෙන් සහ කළු වර්ණයෙන් සමන්විත මෙම ආගන්තුක පළඟැටි විශේෂය පිළිබඳව මාවතගම ප්‍රදේශයෙන් පළමු වරට වාර්තා වීමත් සමගම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.එ්.වීරකෝන් මහතා ඇතුළු කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් කණ්ඩායමක් සහ කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා අද එම ප්‍රදේශයට ගොස් මෙම සත්ත්ව හානිය නිරීක්ෂණයට ලක් කළහ.

ප්‍රදේශවාසින් පෙන්වා දුන්නේ දැනට මාසයක පමණ කාලයකට පෙර ඉතා සුළුවෙන් වාර්තාවූ මෙම පළඟැටි විශේෂය මේවනවිට දහස් ගණන් රංචු ලෙස පැතිර ගොස් සියළුම වගාවන් ආක්‍රමණය කරමින් සිටින බවය .

අප රටට ආගන්තුක වන මෙම පළඟැටි විශේෂයේ මේ වනවිට ගතවෙමින් තිබෙන්නේ එම සතුන්ගේ වර්ධනයේ තුන්වැනි පියවර වන බැවින් අවශ්‍ය කෘෂි රසායනික යෙදීමෙන් උන්ව යම් පාලනයකට ලක්කළ හැකි බව පෙන්වා දුන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වීරකෝන් මහතා හතරවන පියවර වන එනම් මෙම සතුන්ට පිහාටු ඇතිවී පියඹා යාමේ තත්ත්වයක් දක්වා සතුන් වර්ධනය වුවහොත් තත්ත්වය භයානක විය හැකි බව පෙන්වා දුන්නේය .

විශේයෙන්ම මේවනවිට පීදෙමින් පවතින වී වගාවට හානියක් කිරීමට පෙර මෙම ආගන්තුක සත්ත්ව වර්ගය පාලනයකට ලක්කළ යුතු බව අවධාරණය  කළ ආචාර්ය වීරකෝන් මහතා ඒ සම්බන්ධයෙන් නිලධාරීන් සහ ජනතාව දැනුමිවත් කර පළඟැටි විශේය මර්ධනයට අවශ්‍ය කෘෂි රසායන යොදන ලෙස උපදෙස් දුන්නේය.



Recommended Articles