මහේල ඇතුළු කණ්ඩායම පිළිකා රෝගීන් වෙනුවෙන් කරාපිටියේ මහල් 10ක වාට්ටු සංකීර්ණයක් හදයි


ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පිළිකා ඒකකය වෙනුවෙන් මහල් දහයක නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (නොවැ 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුකරන ලදි.

මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පී.ජී. මහීපාල මහතා සහ Colours of Courage Trust (Guarantee) Limitedහි මහේල ජයවර්ධන හා ඩයන් ගෝමස් යන මහත්වරුන් අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඊට අවශ්‍ය ශ්‍රම දායකත්වය නොමිලේ සැපයීමට පහසුකම් සලසනු ඇත. ඊට අදාළ නීතිමය ලියකියවිලිවලට අත්සන් තැබීම අද පෙරවරුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබීය.

මහේල ජයවර්ධන මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය‍ෙයටතේ පිහිටුවන ලද Colours of Courage Trust (Guarantee) Limited පදනම මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සපයනු ලැබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා, නීති උපදේශක එයාර් කොමඩොර් සුරේකා ඩයස් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් ද, මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles