අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහත්වරු ඊයේ (04දා) ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කර ගත්හ.
උඩමළුව,රුවන්වැලි සෑය,මිරිසවැටිය ඇතුළු පූජා භූමි වන්දනා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04දා) දිනයේදී අනුරාධපුරයට පැමිණි අතර අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරන දුමින්ද දිසානායක මහතා එම සංචාරයට එක්කර ගැනීමට සිතූ මහින්ද රාජපක්ෂ මහතා දුරකථනය මගින් දිසානායක මහතාට කතා කර අනුරාධපුර සංචාරයට එක් වන්නැයි දුමින්ද ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවා ඇති සාකච්ඡාවකට සහභාගි වීමට සූදානමින් තමන් කොළඹ සිටින බව දුමින්ද දිසානායක මහතා එම පණිවිඩයට පිළිතුරු වශයෙන් පවසා සිටි අතර, එම සාකච්ඡාවෙන් පසුව තමා සමග ශ්‍රී මහා බෝධිය වඳින්නට එක්වන්නැයි මහින්ද රාජපක්ෂ මහතා නැවත ඉල්ලා සිටියේය. අවසානයේදී කුඩා ගුවන් යානයකින් අනුරාධපුරයට පැමිණීමට දුමින්ද දිසානායක කටයුතු කළේය.
2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසුව දුමින්ද දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග අනුරාධපුරයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය විය.
අනතුරුව පිරිස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගැනීමෙන් අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් ඇතුළු අටමස්ථාන නාහිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව අනුශාසනාවක් කළ ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමියෝ මෙසේ පවසා සිටියහ.
"මේ රටේ ජීවත්වන අහිංසක දුගී ජනතාවගේ බලාපොරොත්තුව වූයේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ රටේ අගමැතිධුරයට පත් වීමයි. ඒ නිසා අද වනවිට මේ ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වී තිබෙනවා. මේක දෙවියන්ගේ, තුණුරුවනේ ආශිර්වාදයක් හැටියටයි මා දකින්නේ.
ජනාධිපතිතුමා පසුගියදා ජාතිය අමතා කළ කතාවේදී පවසා සිටියේ මේ රට විනාශයට, ආගාධයකට යන බවයි. රට ගොඩනැගීමට තනිඅතින් අත්පුඩි ගහන්න බැරි නිසා මේ සඳහා සුදුස්සෙක් මම පත් කරගන්න ඕන කියලත් එතුමා පවසා සිටියා. ඒ නිසා මාත් සමග ඉදිරි ගමනක් යන්න, මාත් එක්ක එකට සහෝදරත්වයෙන් වැඩ කළ හිටපු ජනාධිපතිතුමා කැඳවා බොහෝ දෙදෙනකුගේ අදහස් විමසා එතුමාට අගමැති ධුරය භාරදී හොඳ ගමනක් යන්න පටන් ගන්නවා කියලත් එතුමා පවසා සිටියා. එම නිසා මේ මෙහි ගෞරවය ජනාධිපතිවරයාට වගේම ඔබතුමාටත් අයිති වනවා.
ඔබතුමා ඉවසීමෙන්, කල්පනාවෙන් මහජනයා දිහා බලලා මිනිස්සුන්ගේ බලාපොරොත්තු ගැන හිතලා ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් දැක්වීම හා ජනාධිපතිවරයා තනි නොකිරීමට ගත්තේ හොඳ තීරණයක්. එම නිසා ජනාධිපතිතුමාට හා අගමැතිවරයාට ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමට හා ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන දෙයක් කරන්න පුළුවන් වේවා කියල මහා සංඝරත්නය විදියට අපි ආශිර්වාද කරනවා." යැයිද පවසා සිටියහ
අනුරාධපුර නගරාධිපති එච්.බී. සෝමදාස, උතුරු මැද හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා, හිටපු මැතිඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනුරාධපුර චතුරංග