මහනුවර රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයට ගෞරවනීය සමුදීමක්


මහනුවර ජාතික රෝහලේ දහ අට වසරක් පුරා රෝගීන් ලක්ෂ සංඛ්‍යාවකට සහ වෛද්‍ය සිසුන් විශාල පිරිසකට සේවාව සැපයූ සී.ටී. ස්කෑන් යන්ත්‍රය එම රෝහලේ වෛද්‍යවරුන්, විකිරණ ශිල්පීන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ගෞරවාදරය මැද සේවයෙන් විශ්‍රාම ගැන්වීම සිදු කෙරුණි.

රෝහලක සිදුවන ඉතාමත් විරල ගණයේ සමුදීමක් වූ එම අවස්ථාව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේත් විකිරණ විශේෂඥ වෛද්‍ය ගංගානාත් රොද්‍රිගෝ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එම යන්ත්‍රයට මල් කලඹ තබා ගෞරව දක්වමින් එම සමුදීම සිදු කිරීම විශේෂත්වයක් විය.

එම අවස්ථාවේදී සියලු දෙනා සංවේදී කරමින් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසා සිටියේ මෙම සී.ටී. ස්කෑන් යන්ත්‍රය මහනුවර ජාතික රෝහලේ 18 වසරක් පුරා රෝගීන් ලක්ෂ හයකට අධික ප්‍රමාණයකට ඔවුන්ගේ රෝග නිධාන සොයා ගැනීම සඳහා උපකාරී වුවාසේම මේ වන විට මෙරට පමණක් නොව ලොව සතර දිග විකිරණ වෛද්‍යවරුන් හා විකරණ විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍ය සිසුන්ව සිටියදී ඔවුන්ට ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා මෙම යන්ත්‍රය විශාල මෙහෙයක් සිදුකොට ඇති බවයි. යකඩ ගොඩක් වුවද අපට යම් සේවයක් සිදුකොට ඇත්නම් ඊට නිසි ගෞරවාදරය දැක්වීම මනුසත්කමේ යුතුකමක් බවද අධ්‍යක්ෂකවරිය අවධාරණය කළේය. 



Recommended Articles