මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාදයකින් තොරව


මහ කන්නයට අවශ්‍ය  පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට ලබා දීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක  ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ අද (20) පෙරවරුවේ බැහැ දැකීමෙන් අනතුරුව උන්වහන්සේ සමග පැවති සාකච්ඡාවේ දී ය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේ ය. 

අනතුරුව අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක  ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි සාකච්ඡාවක නිරත විය.

එහිදී ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රධාන සාධකයක් ලෙස කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ආර්ථික ගැටලු විසඳීමට රජය පියවර ගනිමින් සිටින බවයි.

අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිපාණන් වහන්සේ සමග පැවති සාකච්ඡාවේ දී  වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

 “තේ, රබර්, පොල් වැනි බෝගවලට අවශ්‍ය පොහොර ලබාදීමේ කටයුතු ද දැන් කරගෙන යනවා. ඒ වගේම බඩඉරිගු වගාව ප්‍රවර්ධනය කළොත් තමයි කුකුල් කර්මාන්තය කරගෙන යන්න පුලුවන්කම ලැබෙන්නේ. බඩඉරිගු සඳහා පවතින බීජ හිඟය පියවා ගැනීමට අපි හැකි ඉක්මණින් කටයුතු කරනවා. 

තම ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර, ඉන්ධන හා වෙනත් ගැටලු  තිබෙනවා ද කියා සොයා බැලීමේ වගකීම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට භාර දිය යුතුයි. එතකොට ඒ වගකීම ඒ අයටත් පැවරෙනවා. ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන අතර, ආගමික සිද්ධස්ථානවල දියුණුව කෙරෙහි ද අපේ අවධානය යොමු කර තිබෙනවා. 



Recommended Articles