නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.
දේශපාලන, ආගමික, ජාති භේදයකින් තොරව කොරෝනා ව්‍යසනයෙන් රට බේරා ගැනීමට සියලු දෙනා එක්විය යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහ්දී සඳහන් කළේය.
පක්ෂ පාට ආගම් ජාති කුල බේදයකින් තොරව සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කළ යුතුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.
අද (02දා) අරලියගහ මන්දිරයේදී මෙම සර්ව පක්ෂ සහ නියෝජිත හමුව පැවැත්විණ.
සෑම අවස්ථාවකදීම රජය ක්‍රියාත්මක වන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත යැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ඇඳිරි නීතිය පැනවීම පවා සිදු කර ඇත්තේ සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශ වල උපදෙස් මත යැයි ද පැවසීය.
සමස්ත සමාජයේ උන්නතිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු මේ අවස්ථාවේ දී අප සියලු දෙනා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ උපදෙස් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සමාජයීය ආගමික වශයෙන් සියල්ලන්ටම අපහසුතා ඇති විය හැකි මේ කාලයේදී සමාජයෙත් ජනතාවගේත් ජීවිත පිළිබඳව සැලකිලිමත් වෙමින් එම අපහසුතා විඳදරාගෙන කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතුව ඇති බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ නායකයින් හා පක්ෂ නියෝජිතයින් රැසක් සහභාගි වූ අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් කොරොනා රෝගීන් වාර්තා වීමේ සිට මේ දක්වා සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙල සම්බන්ධයෙනුත් යුද හමුදාපති වරයා විසින් නිරෝධායනය සඳහා මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් දීර්ඝ පැහැදිලි කිරීමක් කළහ.
අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටි අතර සෞඛ්‍ය උපදෙස් වලට අනුව ජන ජිවිතය පවත්වා ගෙන යාමට මෙතෙක් රජය ගෙන ගිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී පක්ෂ නායකයින් දැනුම්වත් කළේය.
මෙම අවස්ථාවට එක්ව සිටි පක්ෂ නායකයින් බොහෝ දෙනෙක් කෝවිඞ් වෛරසය මැඩපැවැත්විම සදහා රජය ගෙන යන වැඩපිළිවෙලත් ඊට උරදී කටයුතු කරන සෞඛ්‍ය අංශ රාජ්‍ය සේවකයින් හා ආරක්ෂක අංශ අගය කරමින් මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දෙන බව සදහන් කලේය.
රජයේ වැඩපිළීවෙල සාර්ථක කර ගැනීමට ඉදිරියේදී ගත යුතුව ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී පක්ෂ නායකයින් විසින් අදහස් දැක්වීය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අතුරලියේ රතන හිමි, පවිත්‍රා වන්නිආරචචි, දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම, ආර්. සම්බන්ධන්, එම්. ඒ සුමන්දිරන්, මහින්ද අමරවිර, සෙන්දිල් තොන්ඩමන්,ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, විජිත හේරත්, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, එම්. එම්.එම්. හාරිස්, රිසාඞ් බදියුදින්, මනෝ ගනේෂන්, පී. දිගම්බරන්, උදය ප්‍රභාත් ගම්මන්පිල මහාචාර්ය තිස්ස විතාරණ, රවී කරුණානායක, ෆයසිර් මුස්තාපා, ඒ. එච්. එම්.ෆවුසි, විජේදාස රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.