බුලත් වගාවෙන් දරුවන්ට උගන්වා විදේශ රැකියාවලට යැවූ දිරිය ලිය


කාන්තාවෝ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටේ හා ජාත්‍යන්තරයේ නමක් දිනා සිටිති. ඔවුන් ධෛර්යයෙන් කැපවීමෙන් තම ජීවිතය ජයගෙන ඇත. කුමුදු ලාලනී තම ජීවිතය ජයගෙන ඇත්තේ ගොවිතැනෙනි. බුලත් වගාව තුළින් තම අනාගතය සාර්ථක කර ගැනීමට හැකියාව ලද ඇය දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළද දිනාගැනීමට සමත් වූ දිරිය කතකි.

කුමුදු ලාලනී උසස්පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තම දෙමාපියන්ගේ අඩිපාරේ යමින් බුලත් වගාවට යොමුවී ඇත. කුරුණෑගල පන්නල පදිංචි ඇය කුඩා කල සිට දැක ඇත්තේ, ආභාෂය ලබා තිබෙන්නේ දෙමාපියන් නියැළී සිටි බුලත් වගාවයි.

මගේ දෙමාපියෝ වෘත්තියක් හැටියට කළේ බුලත් වගාව. පුංචි සන්දියේ ඉඳලම ඒ දේවල් දැක්කා. මමත් අම්මලත් එක්ක ඒ දේවලට උදවු කළා. බුලත් කඩන්න මිටි බඳින්න මේ හැම දෙයක්ම මට හුරුවුණා.

ඒ හුරුපුරුද්ද හින්දා මගෙත් ආසාව තිබුණේ බුලත් වගාවට. මම ඉගෙන ගන්නේ කලා අංශයෙන්. අධ්‍යාපනයෙන් රැකියාවක් හොයාගන්නවාට වඩා හිත ගියේ මේ වෘත්තිය තෝරගන්න. 2012දී මුලින්ම වගාවට සම්බන්ධ වුණා. දම්පැලැස්ස අතුරු වගා හා බුලත් පර්යේෂණ ආයතනයෙන් අපේ ගෙදර ඇවිත් පර්යේෂණ කටයුතුවලට අලුත් අලුත් බුලත් වර්ග හඳුන්වලා දුන්නා. ඒ අනුව තමයි මම වගාව ආරම්භ කළේ.

මගේ සැමියාගේ දෙමාපියොත් බුලත් වගාවට සම්බන්ධයි. සැමියාගේ තාත්තා ගොවිරජා ලෙසත් තේරිලා තියෙනවා. සැමියා වාණිජ අංශයෙන් උසස් පෙළ කළේ. ඒත් සැමියට ආසාව තිබුණෙත් බුලත් වගාවට. විවාහයෙන් පස්සේ දෙන්නම එකතු වෙලා බුලත් වගාව දියුණු කරගත්තා. මොකද රැකියාවක් වගේ නෙවෙයි ගොවිතැන. හරිම නිදහස්. අනිකුත් එදිනෙදා වැඩකටයුතු අතරතුරම වගාවේ නියළෙන්න පුළුවන්. ආර්ථික අතිනුත් වාසිදායක වගාවක්.

ඇය තම බුලත් වගාව පිළිබඳ අපි හා අදහස් දක්වා සිටියේ එලෙසිනි. කුමුදු ලාලනී මහත්මියගෙන් අප විමසා සිටියා බුලත් වගාවේ වාසි හා අවාසි මොනවද කියලා.

බුලත් වගාවේ තිබෙන ලොකුම වාසිය තමයි පැළ ඉන්දවලා මාස 03න් පස්සේ පලදාව නෙළාගන්න හැකිවීම. මම මුලින්ම අක්කර 02ක පැළ ඉන්දුවා. ඉති 500ක් කොටස් 04කට හදාගත්තා. සති 04ට වරක් බුලත් කඩන්නේ. බුලත්වල මිල තීරණය වන්නේ බර අනුවයි. බුලත් අතකට කොළ 40 ගානේ බුලත් අත් 25ක මිටිය 5,000 සිට කාලය අනුව දහඅටදාහ දක්වා වුණත් මිල තීරණය වන්න පුළුවන්. අද ඊටත් වඩා

විශාල  මිල ගණන්වලට විවිධ මාසවලදී මිල තීරණය වනවා.

බුලත් වගාවෙදි විවිධ වූ බුලත් වර්ග වගා කරනවා. මට දම්පැලැස්ස අතුරු වගා හා බුලත් පර්යේෂණ ආයතනයෙන් තමයි අලුත් බුලත් වර්ග හඳුන්වලා දෙන්නේ. බුලත් කොළේ විශාල බර වැඩි %මාතේරූ^ බුලත්වලට තමයි හොඳ මිලක් තියෙන්නේ. කොළේ විශාල බර වැඩි බුලත් කොළ පාකිස්තානයට යවනවා. අනිත් ඒවා දේශීය වෙළෙඳ පොළට දානවා. පාකිස්තානයට යවන්නේ තීන්ත හදන්න. ඒ වගේම උත්සව සමයේදී හොඳ මිලක් පාකිස්තානයෙන් ලැබෙනවා. අනික අද බුලත්වලට විදේශීය වෙ‍ෙළඳ පොළේ ඉල්ලුම වැඩියි. බුලත් කොළේ නැට්ටෙන් දත්බෙහෙත්, මුඛ සෝදන ද්‍රව්‍ය වගේ බොහෝ නිෂ්පාදන අද සිදුකරනවා.

බුලත් වගාව හරිම පහසු වගාවක් වුණත් හරිම පරිස්සමින් සැලකිල්ලෙන් කළ යුතු වගාවක්. මොකද බුලත් කියන්නේ සුබ කටයුතුවලට ගන්න දෙයක්. අපි බුලත් වගාවට පිටින් සේවකයන් ගන්නේ අත්‍යවශ්‍යම කටයුක්තකට පමණයි. ඒත් එක්කෙනෙකු හෝ දෙන්නෙක්. ගතානුගතික සිරිත් අනුව ගෞරවයෙන් බුලත් කැඩීම කළ යුතුයි.

බුලත් කඩන්න පෙර මළගෙදරකවත් නොයා යුතුයි. ඒ වගේම බුලත් කැඩීම බොහොම කල්පනාවෙන් පරිස්සමින් කළ යුතුයි. නියපොත්තක්වත් ගහට නොවැදිය යුතුයි. අනික තමයි කෘමි සතුන්ගෙන් බේරාගැනීම. තලගොයා, කබරගොයා, බල්ලන්ගෙන් බේරාගන්න දැල්ගහන්න ඕනා.

මේ දේවලින් ආරක්ෂා කරගෙන බුලත් වගාව කළොත් ඉතාම සාර්ථක වගාවක්.

කුමුදු ලාලනී මහත්මිය බුලත් වගාවට අමතරව තවත් වගාවන් කීපයක්ම කරනු ලබන බවයි අප හා සඳහන් කර සිටියේ.

බුලත් වගාව තමයි ප්‍රධාන ඊට අමතරව අන්නාසි, කෙසෙල්, කහ, ඉඟුරු, සේර, එළවළු, අඹ වගේ තවත් වගාවන් කරනවා. විශේෂයෙන්ම තුඹ කරවිල වගාව. තුඹ කරවිලවලට වෙළෙඳ පොළක් තිබෙනවා නම් සාර්ථක වගාවක්. අපි වෙළෙඳ පොළට දෙන්නේ කිලෝග්‍රෑම් එක රු.250ට. ඒත් වෙ‍ෙළඳපළේ 350 සිට විවිධ මිල ගණන් යටතේ විකුණනවා.

තුඹ කරවිල වගාව ගොඩක් අය දන්නේ හරිම පහසු වගාවක් විදියටයි. බොහෝ අය කරන්නේ වගා කරලා පලදාව එනකල් බලාගෙන ඉන්නවා. එහෙම බැහැ. අපි මල් පරාගණය කළ යුතුයි. ගැහැනු පිරිමි කියලා පැළ දෙකක් තියෙනවා. ගැහැනු පැළ 100ට පිරිමි පැළ 04ක් විතර ඉන්දන්න ඕනේ. සිටුවලා දවස් 45න් මල් හටගන්නවා. ඊට පස්සේ උදේ 7-9 අතර පිරිමි මල් හා ගැහැනු මල් පරාගණය කළ යුතුයි. එතකොට හොඳ පලදාවක් ලබාගන්න පුළුවන්.

අප මුලින් සඳහන් කළා වගේ ඇය වගාව තුළින් ජීවිතය ජයගත්ත කාන්තාවක්. කුමුදු ලාලනී මහත්මියට දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන්ගේ සියලුම අධ්‍යාපන කටයුතු සිදුකර ඇත්තේද මෙම ගොවිතැන තුළින් බවයි ඇය අපට සඳහන් කළේ.

මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ සියලුම අධ්‍යාපන කටයුතු සිදු කළේ මේ වගාවෙන් ලැබුණ ආදායමෙන්. අද අපේ දරුවෝ දෙන්නා අපිට ආඩම්බර විය හැකි තැන්වල ඉන්නවා. ලොකු පුතා දමිත් තෙන්නකෝන්. එයා ඕස්ට්‍රේලියාවේ ගුවන් නියමුවෙක්. පොඩි පුතා දිමුතු මිහිරාන් ඕස්ට්‍රේලියාවේ ආයතන කළමනාකරුවෙක්. දෙන්නම ඒ රටේ පුරවැසිභාවය ලබාගෙන තියෙන්නේ. මගේ සැමියා ජගත් ප්‍රේමසිරි එයත් දැන් ඒ රටේ පුරවැසිභාවය ලබාගත්තා. මේ හැම සාර්ථකත්වයකටම උදවු වුණේ බුලත් වගාව.

තමන් මෙන්ම දරු පවුලත් සාර්ථක කරගැනීම සඳහා උත්සාහවන්ත වූ ඇයගේ අනාගත සැලසුම් හා බලාපොරොත්තු පිළිබඳවද අප විමසා සිටියා. මම දැන් හරිම සතුටින් නිදහසේ කාලය ගතකරන කෙනෙක්. මට ලොකු හීනයක් තවම ඉතිරිවෙලා තියෙනවා. ඒ දරුවෝ දෙන්නගේ පවුලේ අයයි සැමියයි මමයි එක මේසෙක වාඩිවෙලා කෑම වේලක් ගැනීම. ඕස්ට්‍රේලියාවේ මම කිහිප වතාවක්ම සංචාරය කරලා තියෙනවා. ඒත් හතරදෙනාම එකට මුණගැහුනෙ නෑ.

ඒ වගේම ලොකු පුතා පදවන ගුවන් යානයේ සංචාරය කිරීමත් මගේ ආසාවක්. සැමියා කිහිප වතාවක් ගිහින් තියෙනවා. ඒත් මට බැරිවුණා. ලොකු පුතත් නිතරම කියන දෙයක් අම්මයි තාත්තයි දෙන්නම එයා පදවන ගුවන්යානයේ එක්කන් යන්න ඕනෙ කියලා.

ඇයගේ සිහිනය ඉටුවෙන්න අපි ප්‍රාර්ථනා කරමු. ඇය කාන්තා පරපුරට පණිවිඩයක් ලෙස මෙසේ ‍කිවයුතු යැයිද අපට පැවසුවා.

කාන්තාවන් ගෙදරට ගේන සැමියාගේ ආදායම ගැන පමණක් හිතාගෙන ඉන්න එපා. අධ්‍යාපනයට රැකියාවක් නොලැබුණොත් කුමක් හෝ ස්වයං රැකියාවක නියැළෙන්න උත්සාහ කරන්න. දරුවන්ගේ අධ්‍යාපනයට තමන්ගේ පවුලේ බර ටිකක් හෝ අඩු කර ගත හැකියි. මම අද මෙතන ඉන්නේ ස්ව උත්සාහයෙන්.

කුමුදු ලාලනී මහත්මිය කාන්තා පරපුර‍ට හොඳ ආදර්ශයක්. ඇය අප හා කතාබහ අවසන් කිරීමට පෙර මෙසේ ඉල්ලීමක් කරනු ලැබුවා. ඒ තමන්ට ඇප උපකාර කළ කිහිපදෙනෙකු සිහිපත් කිරීමට. සහකාර අධ්‍යක්ෂ එච්.පී. මාපා, බුලත් පර්යේෂණ ආයතනයේ මාලනී රත්නසෝම සහ ජේ.එම්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු මතක් කර සිටිනවා.

සටහන සහ ඡායාරූප - ශාන් බන්දු

 



Recommended Articles