බසය ගෙයක් කර ගත්තේ විනෝදයට නොව ඉන්න තැනක් නැති නිසයි


ස්ථිර නිවසක් නොමැතිවීම හේතුවෙන් මහියංගණ රජමහ විහාරස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය පසෙක ඇති තම අබලන් බස්රථයේ දිවි ගෙවන අසරණ පවුලක් ස්ථිර නිවසක් ඉදි කර ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. 

මෙම පවුලේ ගෘහ මූලිකයා  පියා විමල් විජේරත්න වන අතර ඔහු වෘත්තියෙන් රියදුරෙකි. ඔහුගේ බිරිඳ වන ගයානි කාංචනමාලා හා දරුවන් වන හෂේන් ගයනෙත් (09) හා මින්දි අමායා (අවු1 මා.09) මේ වනවිට මාස 09කට ආසන්න කාලයක් තිස්සේ ඔවුන් සතු  අබලන් බස් රථය සිය නිවහන කොට ගෙන සිටිති.

අබලන් බස් රථය තුළ කිසිදු මූලික පහසුකමක් හෝ නොමැතිව ඔවුන් දිවි ගෙවන අතර මෙම පවුලේ ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ ආහාර පාර්සල් සකස් කොට අලෙවි කිරීමය.

‍හෂේන් මේ වන විට මැදයාය කනිෂ්ඨ විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඔහු පාසල් යන්නේ පාරේ නවතා තිබෙන බස් රථයේ සිටය. මේ නිසා ඔහුට අනිත් දරුවන් සේ පාඩම් කරන්න පහසුකම් නොමැත. රාත්‍රියට විදුලි ආලෝකය නොමැත. පොත් පත් තියාගන්නට විශේෂ තැනක් නොමැත. ඒ වගේම ඔහුටම කියා කාමරයක් නොමැත. නිදාගැනීමට හෝ  ස්ථිර තැනක් නොමැත. ඔහු ඇතුළු පවුලේ සියල්ලන් නිදාගන්නේ බස් රථය තුළ මෙට්ටයක් බිම දමා සකසා ගත් තැනකය.

බස් රථයේ දිවි ගෙවන මෙම පවුලට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැති අතර ඒ සඳහා ඔවුහු මහියංගණ රජමහා විහාරස්ථානයේ පොදු වැසිකිළි භාවිත කිරීමට පුරුදුව සිටිති. ඔවුන්ට අවශ්‍ය ජලය ලබා ගැනීමට ද බොහෝ දුරක් යෑමට සිදුව තිබේ.

හෂේන්ගේ පියා රියදුරු රැකියාවේ බැරෑරුම්කම හා අනුන්ගේ බස් වෙනුවෙන් මහමගදී සිදුවන ගුටි බැට හුවමාරු කරගැනීම් නිසා තමන්ට කියා බස් රථයක් මිලදී ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව කල්බදු සමාගමක් මගින් පැරණි බස් රථයක් මිලදී ගත්තද පසුව ඒ සඳහා මාර්ග බලපත්‍ර සකස් කර ගැනීමට යෑමේදී  විශාල මුදලක් වැයවන බව දැන ගැනීමෙන් අනතුරුව ඒ සිහිනය අතහැර දමන්නට ඔවුන්ට සිදුව ඇත.

බස් රථයට වාරික ගෙවන අතරතුර නිවසේ කුලී ගෙවාගත නොහැකිව අපහසුතාවට පත් වූ හෙයින් හෂේන්ගේ පියා තමන් මිලදී ගත් බස් රථය සිය නිවහන බවට පත් කර ගැනීමට තීරණය කර තිබේ. එසේ බස් රථය සිය නිවහන බවට පත් කර ගැනීමෙන් අනතුරුව එහි වූ කුඩා මුළුනැත්ගෙයි සිට තම සුළු ව්‍යාපාරය ආරම්භ කොට ඇත. 

 බස් රථයේ ණය වාරික ගෙවා ගැනීමට නොහැකිවීම නිසා නොබෝ දිනකින් තමන් ජීවත්වන බස් රථය ද අහිමි වන තත්ත්වයකට පත් වී ඇති බව මෙම දෙපළ පවසා සිටියහ. 

තමන් පත්ව ඇති අසීරුතාව පිළිබඳ අවධානය යොමු කොට කුඩා නිවසක් හෝ ඉදිකර ගැනීමට උපකාර කරන මෙන් ඔවුහු පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටිති.

ඔවුන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙතොත් ලංකා බැංකුවේ නොච්චියාගම ශාඛාවේ ජී.ඩබ්ලිව් ජී කාංචනමාලා මහත්මිය නමින් 6475532 දරන ගිණුම් අංකය යටතේ විවෘත කොට ඇති ගිනණුමට ඒ සඳහා වන ආධාර මුදල් බැර කළ හැකිය.

මේ පිළිබඳ  වැඩිදුර තොරතුරු 077-4279253 / 077-3036313 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබා ගත හැකිය.

රංජිත් කරුණාවීර

 



Recommended Articles