දුම්බර හෙවත් නකල්ස් වනපෙතේ ජෛව විවිධත්වයෙන් සහ ඓතිහාසික වටිනාකමින් අනූන පිටවලපතන ලෝක උරුමයක් මෙන්ම මෙරට පිහිටි අද්විතීයම සංරක්ෂිත වනාන්තරය වේ. හෙක්ටයාර 10ක් පුරා විහිදි මෙම භූමියේ ජෛව විවිධත්වයේ සුවීශේෂී හමුවීම් ලෙස වටරැස්ස, කඳුලැස්ස, නිල්මොණලැස්ස, රළු ගල්පර මැඬියා, පතන් අල දැක්විය හැකිය. මුහුදු මට්ටමේ සිට මීටර 800ක් පමණ උසින් පිහිටි මෙම පතනේ මංපෙත් දුර මීටර 750කි. මෙම පතන දික්පතන නමින්ද හඳුන්වා දෙයි.
දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර ප්‍රසිද්ධ රිවස්ටන් කන්ද තරණය කරන අතරමගදී හමුවන පිටවලපතනේදී නැරඹිය හැකි සුවිශේෂී ස්ථානයක් වන්නේ පුංචි ලෝකාන්තයයි. එසේම ඉහළ සිට මොරගහකන්ද ජලාශය හා කළු ගඟ ජලාශයද නැරඹිය හැකිය.
නුවර- මාතලේ- රත්තොට- ඉලුක්කුඹුර මාර්ගයේ මෙන්ම කුරුණෑගල -ගලේවෙල- නාවුල- පල්ලේගම මාර්ගයත්, කොළඹ- නුවර- වත්තේගම- බඹර ඇල්ල මාර්ගයත්, කොළඹ සිට ඩීන්ස්ටන් දක්වා ඇති නුවර - රන්ගල තංගප්පුව- කෝටස් ගැප් -මීමුරේ මාර්ගය යන මාර්ග ප්‍රවේශ මාර්ග ලෙස දැක්විය හැකිය.
මනස්කාන්ත දුම්බර කඳුවැටියේ ස්වභාවික සුන්දරත්වය විඳගන්නට පැමිණෙන සියලුදෙනා පිළිපැදිය යුතු කාරණා කිහිපයකි. වෙනත් කඳුවල මෙන් මෙහි කඳවුරු බැඳීම, ගිනි දැල්වීම සිදුකළ නොහැක. එසේම පතනට ඇතුළු විය හැක්කේ අවසරපතක් ලබාගැනීමෙන් පසුවය. දුම් පානය, මත්පැන් පානය තහනම් අතරම ඒවා ගෙන යෑමද තහනම්ය.වන ජීවීන්ට හානි කිරීම තහනම් අතර, කසළ බැහැර කිරීමද තහනම්ය. වාණිජමය ජායාරූපගත කිරීම්, වීඩියෝගත කිරීම්ද තහනමි වන අතරම සංගීත භාණ්ඩ වාදනයද තහනම්ය.
නමුත් කණගාටුවට කරුණ වන්නේ මෙකී උපදෙස්වලට පටහැනිව යමින් බීමතින් ඉතා අශෝභනව හැසිරෙන්නන්ද හමුවීමය. විශේෂයෙන් දුම්බර රළු ගල්පර මැඬියාගේ ජීවන චක්‍රයට හානි වීම වැළැක්වීම සඳහා තෘණ භූමියේ ගමන් නොකරන ලෙස දක්වා තිබුණද, බීමතින් පිස්සන් මෙන් හැසිරෙන පිරිස්ද සිටිති. පිටවලපතනේ සුන්දරත්වය විඳීමෙන් අනතුරුව රථ ගාලේ පසෙකින් පිහිටි දුම්බර තොරතුරු මධ්‍යස්ථානයටද ගොඩවන්නට අමතක නොකරන්න. මන්දයත් එහි ඔබගේ දැනුමට එකතු කරගත හැකි තොරතුරු රාශියක්ම වන බැවිනි.
ජයාරූප හා සටහන නදීශානි පතිරණ