පර්ල් නැවේ ප්ලාස්ටික් ටොන් 584 ක් ඉවත් කෙරේ


ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් පමණ මේ වන විට වෙරළින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව අදාළ වෙරළ තීර පිරිසිදු කිරීමේ කටයුතු සිදුකෙරේ.

උස්වැටකෙයියාව ප්‍රදේශයේ සිට පමුණුගම සරක්කුකන්ද කැපුම්ගොඩ දක්වා කිලෝමීටර් 09 ක පමණ දිග වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර විධානය විසිණි.

පසුගිය 26 වැනි දා මෙම ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාව මඟින් ආරම්භ කළ අතර අද (02) දින වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර්වලින් පැමිණි ප්ලාස්ටික් ද්‍රව්‍ය ටොන් 584 ක් වෙරළෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

ප්ලාස්ටික් වර්ග සහ පොලිතින් වර්ග සෑදීමට යොදාගන්නා මෙම කුඩා ප්ලාස්ටික් බෝල වැනි ද්‍රව්‍ය ආරක්ෂිතව බෑග්වල අසුරා ආරක්ෂිත ස්ථානයක කන්ටේනර් තුළ ගබඩා කර තැබීමට මේ වන විට පියවර ගෙන ඇත.

නාවික හමුදාවේ බටහිර විධානයේ සෙබළුන් 470 ක් පමණ පිරිසක් දිනපතා මෙම වෙරළ කොටස පිරිසිදු කිරීමේ කටයුතුවලට එක්ව සිටින අතර උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා ඔවුහු මෙම කාර්යයේ නිරත වෙති.

විශාල වශයෙන් ප්ලාස්ටික එක් වී තිබූ ප්‍රදේශවලින් එම ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ ම වෙරළ තීරය පිරිසිදු වෙමින් පවතින අතර තවදුරටත් වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

 



Recommended Articles