නිවුන් දරුවන් පනස් හතර දෙනකු අධ්‍යාපනය ලබන පාසලක් පිළිබඳ, පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයෙන් අපට හමුවිය. ඒ ,දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයයි.
නිවුන් දරු සංසදය නමින් 2018 දි ,දිඹුලාගල සිරිපුර හා අවට ගම්මානවලින් ආ නිවුන් දරුවන් 06 දෙනකුගෙන් ආරම්භ කරන ලද මෙම නිවුන් සංසදයේ මේ වනවිට නිවුන් සිසු දරුවන් පනස් හතර දෙනකු එක වසරේ සිට දහතුන වසර දක්වා මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම විශේෂත්වයකි.
මෙම නිවුන් දරුවන් විද්‍යාල භූමියේ අවස්ථා කිහිපයකදී මල් පැළ දෙදහකට ආසන්න සංඛ්‍යාවක් සිටුවා ඇති අතර එම සිසුන් පනස් හතර දෙනා විසින් එම මල් පැළ රැකබලා ගනිමින් පොහොර සහ ජලය යොදා ආරක්ෂා කරගැනීමද තවත් විශේෂත්වයකි.
සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්.තිලකරත්න මහතාගේ සංකල්පයට අනුව 2018 වසරේදී මෙම නිවුන් දරු සංසදය ආරම්භ කොට තිබේ.
එම නිවුන් දරුවන් ඇගැයීම සහ උපහාරයට ලක් කිරීමේ උත්සවයක් පසුගිය 16 වෙනිදා සිරිපුර මධ්‍ය මහ විද්‍යාලයේදී පැවැති අතර ඒ සඳහා එම නිවුන් දරුවන්ගේ මවුපියන්ද සහභාගි වී සිටියහ.
මෙහිදී නිවුන් දරුවන් ඇගයීමට ලක් කරමින් ඔවුනට ත්‍යාග ලබාදීමද සිදුකල අතර මෙම සංකල්පයේ නිර්මාතෘ සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්. තිලකරත්න මහතාට හා ඔහුගේ මව සිහිපත් කරමින් විශේෂ ත්‍යාග කිහිපයක් පිරිනැමීමට
නිවුන් දරුවන්ගේ දෙමව්පියන්, විදුහල්පතිවරයා ඇතුළු ගුරු මවුපියවරුන් කටයුතු කළහ.
මවුපියන් සහ ඔවුන්ගේ නිවුන් දරුවන් එකම නිල ඇඳුමකින් සැරසී සිටිම විශේෂත්වයක් වූ අතර විද්‍යාලයේ අනෙකුත් සිසුන් ඔවුන්ට මල් කළඹ බැගින් ලබා දී පිළිගැනීමද තවත් විශේෂත්වයකි.
තමන් එක්තරා දිනක රූපවාහිනී නරඹන අවස්ථාවේදී නිවුන් දරුවන් පිළිබඳ විශේෂ වැඩසටහනක් නැරඹූ බවත්, එදින තම විද්‍යාලයේද නිවුන් දරු සංසදයක් ආරම්භ කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, ඒ අනුව 2018 වසරේ සිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මේ වෙන විට විද්‍යාලයේ නිවුන් දරුවන් 54 දෙනකු සිටින බවත්, ඔවුන් එක්තරා දිනක මේ රටේ ජනාධිපතිවරයා මුන ගස්වා ඇගයීමට ලක් කිරීම එකම අරමුණු බවද මේ පිළිබඳ අදහස් දක්වමින් සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්. තිලකරත්න මහතා අප සමග සඳහන් කළේය.
සිරිපුර මධ්‍ය මහා විද්‍යාලය අවට ගම්මාන 42 ක කින් මෙම නිවුන් දරුවන් විද්‍යාලයට පැමිණෙන අතර මෙම නිවුන් සංසදය සඳහා තවත් සිසුන් ඉදිරියේදී ඇතුළත් කිරීමට කටයුතු කරන බවද, නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්. තිලකරත්න මහතා කීවේය.
1987 ජනවාරි 31 වෙනිද ආරම්භ කරන ලද සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ මේ වනවිට සිසුන් 1830 ක් පමණ අධ්‍යාපන ලබන අතර ඒ සඳහා ගුරුවරුන් 70 කට ආසන්න පිරිසක් සේවය කරති.
සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා ලෙස එම්. ජී.පී ධම්මික මහතා සේවය කරන අතර ඔහු මෙම විද්‍යාලය සංවර්ධනය කිරීමට දැඩි කැපවීමකින් සහ උනන්දුවෙන් කටයුතු කරන්නේය.
සෑම වසරකම අගෝස්තු 08 වෙනිදා නිවුන් දරුවන්ගේ දිනය යෙදී තිබෙන අතර, එම දිනය සිහිපත් කරමින් ඔවුනට උත්සවයක් සංවිධාන කිරීමට නොහැකි වු නිසා පසුගිය 16 වෙනිදා මෙම උත්සවය සංවිධානය කළ බවත්, මෙම දරුවන්ට සම්පත් දායකයින් සම්බන්ධ වීමට හෝ උපකාරයක්, උදව්වක්, අධ්‍යාපනයට අත්වැලක් වීමට හැකි නම් ඒ සඳහාද සැමට අවස්ථාවක් ලබාදීමට හැකියාව පවතින බවද නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මනම්පිටිය නිමල් ජයරත්න