නමක් නැති කහ මාපිලාට නමක් දෙයි


ශ්‍රී ලංකාවට ආවේනික සත්ව විශේෂයක් වන කහ මාපිලාට නව විද්‍යාත්මක නාමයක් හිමි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙකු වන ප්‍රදීප් සමරවික්‍රම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ දී හමුවන කහ මාපිල් විශේෂය වන Boiga cf. beddomei 2022.12.12 දින Russian journal of herpetology ජර්නලයේ පළවූ පර්‍යේශණ පත්‍රිකාවකින් 2005 වසරේදී ලංකාවේ හමුවන විශේෂයට මහනුවර ගන්නෝරුව ප්‍රදේශයෙන් හමුවූ නිදර්ශක මඟින් විස්තර කල Boiga ranawanei නාමය නැවත වලංගු කොට ශ්‍රී ලංකාව තුළ හමුවන මෙම මාපිල් ගහණය නාමකරණය කර ඇතැයි ප්‍රදීප් සමරවික්‍රම මහතා පවසයි.

මෙම පර්‍යේශණ පත්‍රිකාව ඉන්දියානු ජාතික ආචාර්ය S.R ගනේෂ් මහතා  සහ ශ්‍රී ලංකාවේ පර්‍යේශකයෙකු වන V.A.M.P.K සමරවික්‍රම  මහතා ප්‍රමුඛ පර්‍යේශණ කණ්ඩායම විසින් සිදුකොට ඇත.

මෙම Boiga ranawanei කහ මාපිල් විශේෂය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය කිත්සිරි රණවණ මහතාට ගෞරවයක් වශයෙන් නාමකරණය කර ඇත.

මාපිලුන් අයත් වන Boiga ගණය/genus Fitzinger විසින් 1826දී නාමකරණය කරන ලද අතර  මාපිලුන් යනු Opisthoglyphous වර්ගයේ විෂ දළ සහිත(Rear ganged) රුක්වාසී නිශාචර නිවර්තන ආසියාතික කලාපය තුල හමුවන (Wallach et al., 2014) Boiga ගණයට අයත් වන සර්ප විශේෂ වේ.

පරිසරවේදි ප්‍රදීප් සමරවික්‍රමට අනුව ශ්‍රී ලංකාවේ දැනට හමුවන මාපිල් විශේෂ පහ අතරින් කහ මාපිලා 2020 වසර වනතෙක්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටෙහිම හමුවන මාපිල් විශේෂයක් වශයෙන් Boiga beddomei යන විද්‍යාත්මක නාමය යටතේ හඳුන්වනු ලැබ ඇත.

නමුත් 2020 වසරේදී ආචාර්ය S.R ganesh ඇතුළු පර්‍යේශණ කණ්ඩායම විසින් ඉන්දියාවේ හමුවන මාපිල් විශේෂ වල අණුක ජීව විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ හමුවන Boiga ceylonensis විශේෂය (නිදි මාපිලා) ඉන්දියාව තුළ හමු නොවන විශේෂයක් ලෙස නම් කල අතර, මෙම විශේෂය ශ්‍රී ලංකාවේ පමණක් හමුවන ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයක් වශයෙන් නම් කර ඇත.

එමෙන්ම එහිදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හමුවන බවට පෙරදී සැළකූ Boiga beddomei විශේෂය ඉන්දියාවේ බටහිර ඝාට්ස් කඳුවැටි ප්‍රදේශය ආශ්‍රිතව පමණක් හමුවන ඉන්දියාවට ආවේණික සර්ප විශේෂයක් ලෙස නාමකරණය කරන ලදී.

මෙම තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ හමුවන පෙරදී Boiga beddomei ලෙස නාමකරණය කරන ලද විශේෂයට විද්‍යාත්මක නාමකරණයක් නොමැති තත්වයකට පත් විය.

එමනිසා මෑතක් වනතුරු මෙම විශේෂය Boiga cf. beddomei ලෙස හඳුන්වනු ලැබූ අතර  (cf. / confer යන යෙදුමෙහි අර්ථය වන්නේ Boiga beddomei ට රූපවිද්‍යාත්මක ලක්ෂණ වලින් සමාන වූවත් මෙම විශේෂය බොහෝවිට වෙනත් විශේෂයක් විය හැකිය යන්නයි) නමුත්  ඉදිරියේදී මෙම මාපිල් විශේෂයේ පොදු සිංහල නාමය "රණවණගේ රන් මාපිලා" ලෙස භාවිතා කිරීම වඩාත් යෝග්‍ය බව ප්‍රදීප් සමරවික්‍රම මහතා අවධාරණය කර සිටියි.

නිදර්ශනී වික්‍රමසිංහ/ නාවුල ඉන්දික



Recommended Articles