ඓතිහාසික වැලිකන්ද, කවුඩාගල ආරණ්‍ය සේනාසන පූජා භූමියේ පිහිටි වසර 2,300ක් පැරණි චෛත්‍යයකින් දුර්ලභ ගණයේ ගල් කරඬුවක් අද (27දා) හමු වූ බව කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දේවගල පඤ්ඤාසීහලංකාර නාහිමියන් සඳහන් කළහ.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් අනුව 2021 වසරේ අගෝස්තු මාසයේදී මෙම චෛත්‍යයේ කැණීම් කටයුතු ආරම්භ කර තිබේ.
එම චෛත්‍යයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමත් සමග ඒ තුළ තිබී පබළු, පළිඟු, ධවල ඡත්‍ර, සඳකඩපහන් ඇතුළු පුරාවස්තු රැසක් හමුවූ බවත්, ඒවා සුරක්ෂිතව තැන්පත් කර තිබෙන බවත් පඤ්ඤාසීහලංකාර නාහිමියන් පවසා සිටියහ.
මෙහි කැණීම් කටයුතු සිදුකිරීමට මුදල් නොමැතිකම හේතුවෙන් කලක් කැණීම් කටයුතු නතර වීමත් සමග මෙම චෛත්‍ය යළිත් වරක් නිධන් හොරුන්ගේ ග්‍රහණයට හසුවීමෙන් පසු පසුගියදා නැවත වරක් එහි කැණීම් කටයුතු කළ ආරම්භ කළ බවද පඤ්ඤාසීහලංකාර නාහිමියන් පැවසූහ.
කැණීම් කටයුතු කරමින් සිටියදී හමුවූ ගල් කරඬුව මෙන්ම අනෙකුත් පුරාවස්තු පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතාගේ සහභාගිත්වයෙන් නිරාවරණය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද පඤ්ඤාසීහලංකාර නාහිමියන් පැවසූහ.
මෙම ස්ථූපය ආරක්ෂා කිරීමට මෙන්ම කැණීම් කටයුතු සිදු කර සැදැහැවත් බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට පත්කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙසද පඤ්ඤාසීහලංකාර නාහිමියන් ඉල්ලා සිටියහ.