දිය යට සැඟවුණ අද්විතීය සංස්කෘතික නිධානය


ලංකාව වටා ඇති මුහුද සම්පත් බහුල ස්ථානයකි. ජෛව විවිධත්වය මෙන්ම මුහුදුබත් වූ නෞකාවන් හා නාවික සුන්බුන් නිසාද එහි වටිනාකම් තවදුරටත් ඉහළ දමා ඇත. නමුත් මේ නාවික සුන්බුන් පිළිබඳ අපට ඇත්තේ ඉතා අල්ප දැනුමකි. මේ, පසුගිය දිනක ශ්‍රී ලංකාව වටා ඇති නාවික සුන්බුන් පිළිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන්, නේෂන් ට්‍රස්ට් බැංකුවේ අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) විසින් කොළඹදී පැවති සම්මන්ත්‍රණයක ප්‍රවීණයන් දැක්වූ අදහස්ය.


සෑම ගිලුණු නැවක්ම ආරක්ෂා කළ යුතුයි -  NARAහී හිටපු IUCN වැඩසටහනේ කොරල් පරිසර විද්‍යාඥ අර්ජන් රාජසූරිය

මම විශේෂයෙන් කතා කරන්නේ මේවා රැක බලා ගැනීම සම්බන්ධවයි. මේ නාවික සුන්බුන් සමග ගැටෙන අයට මේවා රැක බලා ගැනීම සම්බන්ධ දැනුමක් ලබාදීම ඉතා අවශ්‍යයි.

පැරණි යුගයේ එනම් 1960 ගණන්වල ගිලුණු නැව් සම්බන්ධව අපි ගත්තම, විශේෂයෙන් අපිට සඳහන් කරන්න ලැබුණේ %රන්මුතු දූව^ කියන චිත්‍රපටය පටිගත කරන අවස්ථාවේදීයි. එවක මයික් විල්සන් නමැත්තාට හමුවුණා මහා රාවණා කොටුවේ ගිලුණු නැවක්. එහි තිබුණා රිදී කාසි. මේ ගිලුණු නැවේ සිද්ධිය අපි ව්‍යවහාර කරන්නේ  Silver Coin Wreck නමින්. එතැන් සිට මේ ගිලුණු නැව් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.

මේ සම්බන්ධ පොත් කිහිපයකුත් ලියවුණා. ඒත් එක්කම ගිලුණු නැව් යකඩවලට කැඩීමත් සිදුවෙන්න පටන් ගත්තා. ධීවර ප්‍රජාවට සම්බන්ධ අය හා යකඩ වෙළෙඳාමට සම්බන්ධ අය මෙවැනි ක්‍රියාවන්ට යොමු වනු දැක ගත හැකි වුණා. විශේෂයෙන් ගාල්ලේ ගිංතොට, රළගල අවට තිබෙන ගිලුණු නැව් වල යකඩ කපන්න පටන් ගත්තා. ඩයිනමයිට් භාවිත කර නැව්වල තිබෙන බාල්ක වැනි කොටස් කඩා ගොඩට ගෙනැවිත්, යකඩවලට අලෙවි කළා. ඒ 1970 හා 1980 දශකවලයි. ඉන්පසු  අපි දැක්කා නැව්වල තිබෙන වටිනා උපකරණ විදේශයන්ට රැගෙන යන ස්වභාවයක්. ගාල්ල අවට ගිලුණු නැව්වලින් හමුවූ VoCපිඟන්, කෝප්ප වගේ දේවල් විදේශිකයන්ට අලෙවි කරනු ලැබුවා.

නාවික සුන්බුන්වලට ඇති තර්ජන

මේ නාවික සුන්බුන්වලට පවතින තර්ජන ගැන කතා කළාම මේවා වර්තමානයේත් දැකගත හැකියි.

යකඩ කැපීම

එදා වගේම තමයි අදත් මේ ගිලුණු නැව්වල යකඩ කැපීම් සිදුවෙනවා. අතීතයේ පැරණි කම්ප්‍රෙෂර් භාවිත කර ජීවිතය පරදුවට තියලා තමයි යකඩ කැපුවේ. නමුත් අද මේවා සූක්ෂමවයි සිදු කරන්නේ.

කොල්ලකෑම්

අද දවසේත් මේ ගිලුණු නැව් වල වටිනා දේවල් එකතු කරන එක සිදුවෙනවා. නමුත් එදා වගේ පහසුවෙන් මේ එකතු කර ගන්න දේවල් විදේශයන්ට අරන් යන්න වර්තමානයේ හැකියාවක් නැහැ.

ධීවර කටයුතු (ඩයිනමයිට් භාවිතය)

ධීවර ප්‍රජාව මේ ගිලුණු නැව් ආශ්‍රිතව ඩයිනමයිට් පුපුරවා හැර ධීවර කර්මාන්තයේ නියැළෙනු දැකගත හැකියි. මේ ගිලුණු නැව් ආශ්‍රිතව විශාල වශයෙන් මසුන් එක් රැස් වෙනවා. මේ එක් රැස්වන සියලුම මසුන් එක් ඩයිනමයිට් කූරකින් මරාගන්න ඔවුන්ට පුළුවන්. ඊට පස්සෙ කිමිදිලා නවීන උපකරණ භාවිතයෙන් මේ මසුන් එක් රැස් කර ගන්නවා. මේවා පරෙයි දූපත් ආශ්‍රිතව බහුලව සිදුවෙනවා.

මුල් අවධියේ නැව් සම්බන්ධව රජය මගින් යම් පියවරයන් ගනු ලැබුවා. විශේෂයෙන් 1980 ගණන්වල නාරා ආයතනයේ විශේෂ අවධානය මේ ගිලුණු නැව් කෙරෙහි යොමු වුණා.

1984 නාරා ආයතනය විසින් අන්තර් අමාත්‍යාංශ කමිටුවක් හදන්න යොමු වුණා. මෙහිදී නීති අනුකමිටුවක් පිහිටු වනු ලැබුවා. ඒ  අනුව මෙහිදී ගිලුණු නැව්වලට පවතින තර්ජන හඳුනා ගත්තා.

ඒ තර්ජන අතර,

විකිණීම සඳහා ගිලුණු නැව්වල ඇති භාණ්ඩ ඉවත් කර ගැනීම.

මාළු ඇල්ලීම සඳහා යොදන දැල් පැටලීම නිසා සිදුවන හානි.

පුපුරන ද්‍රව්‍ය භාවිතය.

ස්වාභාවික උපද්‍රව - දිරාපත් වීම, වැලි

කොල්ල කෑම.

1998 මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ගණනාවක සාමාජිකයන් හා මුහුද සම්බන්ධයෙන් කටයුතු කරන කණ්ඩායම් රැසක් එකතු කරමින් සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

2010 වර්ෂයේ කැබිනට් ඇමතිවරුන් කමිටුවක් පත් කළා. මේ කමිටුව ධීවර අමාත්‍යාංශයට භාර දුන්නා. මේ කමිටුවේ තිබුණ  කාර්යය භාරය තමයි මේවා සංරක්ෂණය කරගන්න මොනවද කරන්න ඕන කියන දේ සම්බන්ධයෙන් වාර්තාවක් හදන එක. එවක නාරා ආයතනයේ සභාපති වූ හිරාන් මහතා මේවා ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම දැනුම් දුන්නා. නමුත් මේ වැඩසටහන් සිදුකරගෙන යන්න මූල්‍යමය ගැටලු මතු වුණා. මේ නැව්වල ජෛව විවිධත්වය සටහන් කරන්න හැකියාව ලැබුණා. ඒ අනුව අපි කැබිනට් මණ්ඩලයට වාර්තාවක් සැපයුවා. මෙහි අපේ නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළා.

ඒ අනුව අමාත්‍යාංශ වෙන්න පුළුවන්, වෙනත් ආයතන වෙන්න පුළුවන් සියලුම දෙනා මේ වෙනුවෙන් එකතු කර ගත යුතු බව එහි නිර්දේශ අතර තිබුණා.

සෑම ගිලුණු නැවක්ම ආරක්ෂා කළ යුතුයි.

ඒවා ඉවත් කළ යුත්තේ  නාවික ගමනාගමනයට බාධාවක් නම් පමණයි. උදාහරණ ලෙස වරායක් ඉදිරිපිට නැවක් ගිලෙනවා නම්, එය අනෙක් නැව්වලට තර්ජනයක් වෙන්න පුළුවන්. එහෙම වෙලාවක මේ නැව් ඉවත් කරන්න පුළුවන්. අනෙක් වටිනාකම් නිසා මේවා ඉවත් නොකර ගිලුණු ස්ථානයේම රැක බලා ගත යුතුයි.

මේවායේ පවතින ඓතිහාසික වටිනාකම්, සංචාරක ආකර්ෂණය සඳහා භාවිත කිරීම් යනාදිය ගැන සලකා බැලිය යුතුයි. මේවා විශාල පර්යේෂණ කරන්න සිදුවෙන දේවල් වේවි.

නීති මාර්ගයෙන් මේවාට රැකවරණය ලබා දිය යුතුයි.

බලය විමධ්‍යගත කිරීම නිසා දිසාපතිවරුන්ට බලය ලැබුණා මේ නැව් යම් කෙනෙක් ඉල්ලුවොත් ලබාදීමට අවසරට දෙන්න. මේ ක්‍රමයට බොහෝ ගිලුණු නැව් විනාශ වුණා. ඒ නිසා අපි නිර්දේශ කළා මේ අවසර ලබා දීම නැවැත්විය යුතු බවට.

ඒ වගේම ගිලුණු නැවේ වටිනාකම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයන්හී ප්‍රචාරය කළ යුතු බවත්, මේ නැව් සම්බන්ධයෙන්  මහජනතාව දැනුම්වත් කළ යුතු බවත් එහි සඳහන් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා SUB-Aqua Club එක 1985 වර්ෂයේ පිහිටුවනු ලැබූවක්. දිය යට කිමිදුම්කරුවන් ලෙස පුහුණුව ලබන අයට මුහුදු සම්පත් හා මුහුදු ජීවීන් ගැන අවශ්‍ය දැනුම ලබාදීම එහි එක් අරමුණක් වුණා.

අපි කොරල්පර හා මුහුදු ජීවීන් පිළිබඳ ගාල්ලේ අධ්‍යයනයක් කරන්න ගිය අවස්ථාවකදී අපිට මුණ ගැසුණා රංජන් පෙරුමාල් නමැති කිමිදුම්කරුවෙක්. ඔහු ළඟ තිබුණා VoCපිඟන් කිහිපයක්. විමසීමේදී ඔහු කිව්වා ගාල්ල වරාය ආසන්නයේ ගිලුණු නැවකින් ඒවා හමුවෙලා වෙනත් අයෙක් මේවා ලබා දුන් බව.

ඒ අනුව අපි එම ස්ථානයේ කිමිදුම් කටයුතු සිදුකරනු ලැබුවා. අපි මේ ගිලුණු නැව ආසන්නයට කිමිදෙනකොට ඒ අවට බොහෝ දේවල් අපිට දැකගන්න ලැබුණා. බෝතල් කෑලි, දුම් බොන පයිප්ප කෑලි ආදිය. මේවා අපි අපේ ක්ලබ් එකේ අයට දැනුම් දුන්නා. ඒ අනුව ඔවුනුත් මේ ප්‍රදේශය ආශ්‍රිතව කිමිදුම් කටයුතු සිදුකරනු ලැබුවා.

වෛද්‍ය මලික් මහතා මෙහි හමුවුණ දුම් පයිප්ප ගැන විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වගේම ගිහාන් ජයතිලක මහතා මෙහි පුරාවිද්‍යාත්මක වැදගත්කම් ගැන සොයා බැලුවා.

ලංකාව ජාත්‍යන්තර සමුළු හා ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹිලා තියෙනවා. ඉන් එකක් තමයි ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතිය.මේ ගිලුණු නැව්වල ඉන්නවා ගොඩක් මසුන්. ඒ වගේම කොරල්පර දැකගන්න පුළුවන්. ඒ අනුව මේවායේ ජෛව විවිධත්වය රැක ගැනීම සිදුවිය යුතුයි. තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ මේවා රැක බලා ගැනීම සිදුවිය යුතු වෙනවා.

මීට අමතරව නාවික  හමුදාවෙන් මේ නැව් රැක ගන්න විශේෂ වැඩසටහන් සිදුකරනු දැකගන්න පුළුවන්. ඉන් එකක් තමයි ත්‍රිකුණාමල මුහුදේ දෙවන ලෝක යුද සමයේ  ගිලුණු නැවක් ගොඩ අරගෙන, මාළුන් හා කොරල්වල බෝ වීම සඳහා ඔවුන් නැවත එය ගිල්ලනු ලැබුවා.

මීළඟට මීගමුවේ VIP CAR ලෙස හඳුන්වන ප්‍රභූවරුන් භාවිත කරපු වාහන කීපයක් සහිතව ගිලුණු නැවක් තිබෙනවා. මේ නැව් ආරක්ෂා කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ප්‍රජාව දැනුම්වත් කළ යුතුයි. විශේෂයෙන් මේවා ආශ්‍රිතව පවතින ජෛව විවිධත්වය රැක ගැනීමට දායක විය යුතුයි.

මේවා ජල පතුලේ තිබෙන සංස්කෘතික, ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත, මිනිසාගේ ඉතිහාසයට සම්බන්ධ වටිනා දේවල් - මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ  සමුද්‍රීය පුරාවිද්‍යාඥ‍ රසික මුතු කුමාරණ

ගිලුණු නැව්වල පෞරාණික වටිනාකම් මොනවාද යන්න පිළිබඳව, නැත්නම් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික අගයන් සහිත ගිලුණු නෞකා මොනවාද යන්න පිළිබඳ අවධානය යොමු කරන්න කැමතියි. ඒ වගේම ලංකාවේ මෙවැනි ගිලුණු නැව් ගැන සාකච්ඡා කරන්නත් මම සූදානම්.

ගිලුණු නැව් ගැන අපි කතා කරද්දී ජෛව විවිධත්වය අධික, ත්‍රාසජනක අත්දැකීම් ලබාදෙන, කිමිදුම් අවස්ථා ලබාදෙන අවස්ථාවන් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ලංකාව අවට මේ ගිලුණු නැව් පිළිබඳ බැලීමේදී සමස්තයක් ලෙස 107ක් වාර්තා වෙනවා. මෙයින් 06ක් ගුවන් යානා. ඒ අනුව 100ක් වගේ තමයි නැව් ගිලුණු  අවස්ථා තිබෙන්නේ. මීට අමතරව වාහන ගිලුණු ඒවාත් තිබෙනවා. තව නැංගුරම්, කාලතුවක්කු වැනි ඓතිහාසික වටිනාකම් සහිත වෙනත් දේවල් තිබෙනවා.

ඒ අනුව ගිලුණු නැව් ලෙස ගත්තම මේවා නැව් වෙන්නත් පුළුවන්, වෙනත් යාත්‍රා වෙන්නත් පුළුවන්. මේවාට අපි පොදුවේ  Ship wrecks ලෙස හඳුන්වනවා. මේවා මුහුදු පතුලේ පමණක් නෙවෙයි, වෙරළක වුණත් තිබෙන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණයෙන් ජලයේ ගිලී තිබෙන්නත් පුළුවන්, නැතිනම් කාලයක් ගිහින් ගොඩට මතුවූවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ගොඩවායේ ලී නැවක් ගිලී තිබෙනවා. එය අවුරුදු 2000ක් පමණ පැරණියි. එය බලාගන්න පුළුවන්කමක් වෙන්නේ කොරල්පරයක් ලෙසයි.

පෞරාණික වැදගත්කමක් ඇති ගිලුණු නැව් ලෙස හඳුනා ගනිද්දී, ජල පතුලේ තිබෙන සංස්කෘතික, ඓතිහාසික, පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත, මිනිසාගේ ඉතිහාසයට සම්බන්ධ සියලු දේ මේ යටතට ගැනෙනවා. මේවා අවුරුදු 100කට වඩා පැරණි නම් පෞරාණික, නැතිනම් ඓතිහාසික ස්ථාන ලෙස හඳුන්වනවා. (විවිධ රටවල්වල පවතින නීතිරීති යටතේ වර්ෂ ගණන වෙනස් විය හැකියි.)

ඒ අනුව මුහුදු පතුලේ හමු වන දේවල් වගේම, ගංගා පතුල්වල, වැව් පතුල්වල තිබෙන දේවලුත් අපි Under water Cultural heritage යටතය ගැනෙනවා. ඇතැම් විට නැවක්ම නොවෙන්න පුළුවන්, නැවක නැංගුරම් හෝ වෙන යම් කොටස් වෙන්නත් පුළුවන්.

ඇතැම් ඒවා අපි දකිනවා පෞරාණික ගොඩනැගිලි කොටස් ලෙස. උදාහරණ ලෙස ත්‍රිකුණාමලයේ මුහුද යට තිබෙන 7වැනි සියවසට අයත් ඉදිකිරීමක කැඩී බිඳී ගිය කොටස් දැක්විය හැකියි. ඒ වගේම තැනින් තැන තිබෙන කාලතුවක්කු කොටස්, ජැටිවල කොටස් වැනි දේවලුත් මේවාට අයත්. ලංකාවේ වඩාත් කතාබහට ලක්වුණු ගිලුණු නාවික යාත්‍රා ගැන ගත්තම silver coin wreck එක විශේෂයි. 1702 මෝගල් අධිරාජ්‍යය යුගයට අයිති රිදී කාසි රැගෙන ගිය නැවක් තමයි මෙය. එය ඉතාම ඓතිහාසික වැදගත්කමක් සහිතයි. මෙය හඳුනා ගත්තේ 1962 වර්ෂයේදීයි.

මීළඟට ගොඩවායේ ලී නැව ගැන ගත්තාම එය අවුරුදු 2000ක් පමණ පැරණියි. එය දෙවන ශතවර්ෂයට අයත් ලෙසයි සැලකෙන්නේ. එය අප්‍රිකානු, පැසිපික් සමස්ත කලාපයේම තිබෙන පෞරාණිකම ගිලුණු මුහුදු යාත්‍රාව ලෙසයි සැලකෙන්නේ. මෙය දැන් කොරල්පරයක්. මේ කොරල්පරය යට ලී යාත්‍රාව සැඟවී තිබෙනවා. ඒ අනුව අතීත යුගයේ තිබුණු නාවික හැකියා මේ යට සැඟවී තිබෙනවා. 

මීළඟට හික්කඩුව ප්‍රදේශයෙන් හමු වුණා SS Conch (1903) නමින් හඳුන්වන ලොව ප්‍රථම ඉන්ධන ගබඩා පහසුකම් සහිත ටැංකිවලින් යුත් නැව් 4න් එකක්. මෙය ගිලී තිබෙන්නේ ගලක් උඩ. ඒ අනුව නැවේ කොටස් ඉතා හොඳින් හඳුනාගන්න පුළුවන් විදිහට තිබෙනවා.

මීළඟට දෙවන ලෝක යුද්ධ සමයට අයිති නාවුක යාත්‍රා අපේ රටේ නැගෙනහිර මුහුදේ දැකගන්න පුළුවන්. HMS HERMES (1942) කියන්නේ ගුවන් යානා ප්‍රවාහනය සඳහා ලෝකයේ ප්‍රථමයෙන් නිෂ්පාදනය කළ නැව්වලට අයත් වන්නක්. එය ලංකාව ආශ්‍රිත මුහුදේ ගිලී තිබෙනවා. 2001 වර්ෂයේ නෙදර්ලන්තයේ ආධාර මත Avondsterකියන ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ගිලුණු නැව් සම්බන්ධ පර්යේෂණ කරන Maritime Archaeology Unit එක පිහිටුවනු ලැබුවා.

2011න් පසුව ගිලුණු නැව් යකඩ සඳහා සම්පූර්ණයෙන් කඩා ඉවත් කිරීම නවත්වන්නට Inter ministerial committee එකට හැකි වුණා. පසුගිය අවුරුදු දෙක තුළ ධීවර අමාත්‍යාංශයෙන් ත්‍රිකුණාමලය හා දකුණු මුහුදේ පරණ බස් ගිල්වා දැමුවා. එහි අරමුණ වුණේ මසුන්ගේ අභිජනන ක්‍රියාවලි සඳහා රුකුලක් දෙන්න. නමුත් මෙය සාර්ථකද යන්න අපිට තවමත් කියන්න කල් වැඩියි. ඒ ගැන තාම පර්යේෂණ කර නැහැ. පසුගිය මාසෙක අපිට පුළුවන් වුණා ශ්‍රී ලංකාව වටා ගිලී තිබෙන මේ නාවුක යාත්‍රා සම්බන්ධ තොරතුරු රැගත් Database එකක් නිකුත් කරන්නට. එය රාජ්‍ය අනුග්‍රහයෙන් කරපු දෙයක්. ගිලුණු නැව් පිළිබඳ ජාතික දත්ත ගබඩාව නමින් මෙය සකස් කර තිබෙනවා.

ඡායාරූප - ගිලුණු නැව් පිළිබඳ ජාතික දත්ත ගබඩාව



Recommended Articles