දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය ලංකාවට


දකුණු ආසියාවේ විශාලතම වානිජ හා සැපයුම් මධ්‍යස්ථානය වරාය තුළ ඉදිකිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයට විශාල ශක්තියක් ලැබෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 

අමාත්‍යවරයා මෙම කරුණු පැවසූවේ පසුගිය 21 වන දින පස්වරුවේ අමාත්‍යංශයේ දී වානිජ හා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ගිවිසුම අත්සන් කල අවස්ථාවේදීය .

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ චයිනා මර්චන්ට් පෝර්ට් ගෝල්ඩිං සමාගමේ සභාපති මියාඕ ජිඇන්මින්( Miao Jianmin) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම අත්සන් කිරිම සිදු කෙරිණ.

මෙහිදී තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ : රටෙහි ආර්ථික අර්බුදයකට ලක්ව තිබූ මෙවැනි අවස්ථාවක චීන රජයෙන් ලැබුණු මෙම ආයෝජන අවස්ථාව සතුටට කරුනක් බවයි.

මෙම වානිජ හා සැපයුම් මධ්‍යස්ථානය වරාය තුල ඉදිවීම තුළින්  වැඩි වශයෙන් විදේශීය නෞකාවන් කොළඹ වරායට ගෙන්වා ගැනීමට හැකිවන බවත් ඒ තුළින් කොළඹ වරාය පිළිබඳව විශ්වාසයක් ගොඩ නැගෙන බව පැවසීය.

මෙම මධ්‍යස්ථානය  තුළින් ආදායම් වශයෙන් රජයේ තක්සේරුකරු විසින් නියම කරන ලද බිම් කුලිය රාජ්‍ය භාගය සහ මධ්‍යස්ථානයට ලැබෙන ලාභයෙන් 15% ක් ද රජයට ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මීටර් 92 කින් උස සහ මහල් 8කින්  යුතු මෙම ගොඩනැගිල්ල නවීන තාක්ෂණයෙන් හා පහසුකම් වලින් යුක්ත වන අතර ගබඩා ධාරිතාව ඝන.මීටර 530,000 ක් වේ. 

මෙම වානිජ හා සැපයුම් මධ්‍යස්ථානය වරාය මධ්‍යයේ ඉදිකෙරෙන බැවින් විනාඩි 30 ක් වැනි කෙටි කාලයක් තුලදී වරායේ සිට  කටුනායක ගුවන්තොටුපලටත්, කටුනායක ගුවන්තොටුපලේ සිට වරායටත්, වරාය ප්‍රවේශ උස් අධීවේගි මාර්ගය ඔස්සේ  බහාලු ඇතුළු භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත. 

එමෙන්ම මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම තුලින් දකුණු ආසියාවේ ශක්තිමත් වරාය මධ්‍යස්ථානය බවට කොලඹ වරාය පත්වන බවට වෙලඳ නාවික කේෂත්‍රයේ නියැලෙන්නන් විශ්වාසය පලකරන බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයා පැවසීය .

මෙම වානිජ හා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් පමණ වැයවනු අතර රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා අවධාරණය කල අතර   ඒ අනුව 70% ක් චයිනා මර්චන්ට් සමාගමටත්, 15% වරාය අධිකාරියටත්, 15% ක් ඇක්සස් සමාගමටත් කොටස් හිමිවන බවත් වසර 50කට පසු මෙම  වානිජ හා සැපයුම් මධ්‍යස්ථානයේ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන බව පැවසීය.

 



Recommended Articles