තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට


ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

මෙම එන්නත් තොගය රැගෙන චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන විශේෂ ගුවන් යානය අද  දින අලුයම 12.20 කටුනායක ගුවන් තොටුපළ වෙත පැමියේය .

මෙම එන්නත් තොගය චීන රජය විසින් ශ්‍රී ලංකාවට සිදු කරන පරිත්‍යාගයක් ලෙස එවා තිබුණි .

මෙම එන්නත් තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි , ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ , සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග , රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක සහ මහාචාර්ය චන්න ජයසුමන යන අමාත්‍යවරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හුන්ග් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද   කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ දෙවන එන්නත් තොගය මෙයයි . මීට පෙර මෙම වසරේ මාර්තු මස 31 වෙනිදා ත් මෙම සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 චීන රජය විසින් මෙරටට ප්‍රදානය කර තිබුණි .

මෙම එන්නත් භාර දීමට  පැමිණ සිටි ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මෙසේ පැවසීය . මෙම කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීමේ දී බලවත්ම ආයුධ වන්නේ එක්සත්කම සහ සහයෝගිතාවය වන අතර , අවසානයේ මෙම වසංගතය පරාජය කිරීමට ඇති එකම මැජික් විසදුම එන්නත්කරණය බව ද පැවසීය .

මේ වනවිට චීන රජය මෙම කොරෝනා වසංගතය මර්දනය කිරීම සදහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇමෙරිකානු ඩොලර් බිලියන 02 ක ආධාර ලබා දී ඇති බවත් , ලෝකයේ රටවල් 80 කට නොමිලේ එන්නත් ලබා දී ඇති අතර , තවත් රටවල් 43 කට එන්නත් අපනයනය කර ඇති බව ද පැවසීය .

එසේම ඉදිරි වසර 03 තුළ දී තවත් අතිරේකව ඇමෙරිකානු ඩොලර් බිලියන 03 ක් වටිනා අධාර ද ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හුන්ග් මහතා පැවසීය .

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසුවාය .

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කර අවස්ථාවේ දී අප රටට දැක්වූ සහයෝගිතාවයට චීන රජයට සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාට ස්තුතිය පළ කළාය . එසේම මෙම එන්නත් තොගය කඩිනමින් සහ විධිමත්ව ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බව ද පැවසීය.

 



Recommended Articles