තරුණයාගේ ගොවිතැනට ගොවිජනෙන් වැට


රජය මඟින් දියත් කර ඇති වගා සංග්‍රාමයට සමගාමීව ආදර්ශමත්  බෝග වගාවක් ආරම්භ කළ තරුණයකුට  එයට දිරි දීම වෙනුවට ඔහු නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන රජයේ ම ආයතනයක් පිළිබඳ බණ්ඩාරමින් වාර්තා වේ.

මීට වසර කිහිපයකට ඉහත දී බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේන්   මිලදී ගත් පර්චස් 56 කින් යුත්   කුඹුරු යායක  සාර්ථක වී වගාවක් ආරම්භ කර එම වී වගාවට පමණක් සීමා නොවී එම කුඹුරු යායේ ම කුඩා ඉඩ ප්‍රමාණයක  එළවළු බෝග ඇතුළු ධාන්‍ය වර්ග  ඉතා සාරවත් ලෙස වගාකර   ජීවිතය  ජය ගැනීමට වෙර දරනා ඔහු බණ්ඩාරගම වීදාගම පි. ජි. චින්තක නම් තරුණයෙකි.
සිය වගාව පිළිබඳ අදහස් දක්වමින් එම තරුණයා මෙසේ පැවසීය.

"මගේ කුඹුරු යායේ ම පර්චස් 6ක පමණක් කොටසක් කැලයට වී ජලය ලබා ගැනීමට නොහැකිව  තිබෙනවා. මම ඒ කොටසේ උඩ රට පහත රට ආවේණික එළවළු වර්ග විසි හයක් මෙන්ම ධාන්‍ය වර්ග දෙකක් වගා කරල තියනවා.

වගා බිමට ජලය සපයා  ගැනීමට හිරු එලිය මගින් ක්‍රියා කරන ජල විහිදුම් පද්ධතියක්  මා විසින්ම නිර්මාණය කරගත්තා. මම මෙය විදේශ රටවල පරිහරණය කරන උපකරණයක් හැටියට දැකලා මගේ අලූත් නිෂ්පාදනයක් හැටියට මෙය නිෂ්පාදනය කළා

සූර්යාලෝකය මඟින් මේ පද්ධතියට විදුලිය සපයනවා. අනතුරුව මේ පද්ධතිය තුළින් සියලුමශාක සඳහා ජලය ලබා දෙනවා. පැයකට ලිටර් හයසියයක් පමණ මේ ජලය ගබඩාකරණ තියන්න පුළුවන්. ඒ වගේම රාත්‍රී කාලයට පැය හතරක පහක ආලෝකයක් මෙයින් මට ලබා ගන්න පුළුවන්.

මේ පද්ධතිය මගේ වගා බිමට ලොකු පිටුවහලක් වුණා. ඒ වගේම මෙවැනි පද්ධතියක් අපේ රටේ අනෙකුත් ගොවි යන්ද පාවිච්චි කරනවා නම් විශාල මිනිස් ශ්‍රමය අඩු කරගෙන ඵලදාව වැඩිකර ගැනීමේ උපාංගයක් හැටියට මට මෙය හඳුන්වන්න දෙන්නත් පුළුවන්.

මගේ වගා බිමේ මේ වන විට ගෝවා මෑකරල් ලීක්ස් රාබු පතෝල ආදී එළවළු වගේම මුං ඇට සහ කවුපි  වගා කර තිබෙනවා. ඒ වගේම මම නියර වගාවත් කරනවා.

වසර 12 ක පමණ කාලයක සිටයි මම මේ වගාව කරගෙන යන්නෙ.බණ්ඩාරගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීනිගේ අත්සනින් යුතුව  මට ලිපියක් එවා තිබෙනවා.  මගේ වගාව නතර කරන්න නැත්නම් මාව නීති මගට ගෙනියනවා කියලා.

මට ඒ ලිපිය දැක්කාම අදහගන්න බැරි වුණා. මම කරල තියෙන වැරැද්ද මොකක්ද කියලා.  රජය කියන්නේ  වගා කරන්න කියලා. රජයේ නිලධාරීන් වගාවට අකුල් හෙළනවා. 

තරුණයන් විවිධ අරගල වලට යොමු වෙන්නේ  මෙවැනි රජයේ නිලධාරීන් නිසා තමයි.මට කරන මේ අසාධාරණය පිළිබඳ ජනාධිපතිතුමාගෙන් මෙන්ම කෘෂිකර්ම ඇමතිතුමාගේන් අවධානය යොමුවී මට සාධාරණයක් වෙයි කියලා  බලාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳ  බණ්ඩාරගම ගොවිජන සේවා  මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරිනි එම් ඩි ඩි ප්‍රනාන්දු මහත්මියගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

ඕවට උත්තර දෙන්න මට බැහැ. කළුතර ඔෆිස් එකේන් අහගන්න මම අද නිවාඩු

මේ පිළිබඳ ගොවිජන සංවර්ධන  දෙපාර්තමේන්තුවේ (කළුතර)  ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් අරුණි බෝගහවත්ත මහත්මිය ගෙන් විමසීමේදී මෙසේ පැවසුවාය.

ඔය කාරණය ගැන මම දන්නවා.ඔහු  කුඹුරු ඉඩමේ බෝග වගාවට නිසි අවසරයක් ගෙන නැහැ. වගා කරන්න ඕන එක ඇත්ත. ඒත් අනිසි විදියට නොවෙයි. විධිමත් ක්‍රමවේදයකට .අනෙකුත් ගොවීන්ට අවහිරයක් නොවන පරිදි සහ ඇළ මාර්ග වලට අවහිරයක් නොවන පරිදි.

එම ගැටළුව සම්බන්ධයෙන් ස්ථාන පරීක්ෂණයක් සිදුකරන ලෙස ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්තුමා විසින් ලිඛිතව මා වෙත දැනුවත් කිරීමක් කර තිබෙනවා.

ඉතා ඉක්මනින් ස්ථාන පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව කොමසාරිස් ජනරාල්තුමා වෙත යැවීමට පියවර ගන්නවා.



Recommended Articles