තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව නායකත්වය දෙන්න


මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙන්ව ක්‍රියා කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවට සිදු කරන හානියක් බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අද (16) පෙරවරුවේ එක්වෙමිනි.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගැනිණි.

ජාතියටත් ශ්‍රී ලංකා යුද හමුදාවටත් වීරෝධාර නායකයන් බිහිකළ යුද හමුදාවේ විශිෂ්ටතම නිලධාරී පුහුණු ආයතනය වන දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 98වන විසිරයාමේ පෙළපාලිය මෙය වන අතර පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් 274 දෙනෙකු අධිකාරියට පත් කිරීම අද දින සිදු කෙරිණි. විදේශ රටවල කැඩෙට් නිලධාරීන් 06 දෙනෙකුද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි.

කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය පරීක්ෂා කිරීමට සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වු අතර දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

වර්ෂ 1972 ඔක්තෝබර් 14 වන දින එකළ යුද්ධ පුහුණු මධ්‍යස්ථානය ලෙස නම් දැරූ මෙම විද්‍යා පීඨය වෙත, සිදු කරනු ලබන අනගිභවනීය සහ ප්‍රශංසාත්මක සේවය උදෙසා ප්‍රථම වරට ජනාධිපති වර්ණ පිළිගැන්වීම එවකට ජනාධිපතිව සිටි විලියම් ගොපල්ලව මහතා විසින් සිදු කරන ලදී. එසේම 1997 ජූනි මස 20 වන දින එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් එම ජනාධිපති වර්ණයන් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය වෙත ප්‍රතිප්‍රදානය හා නව විද්‍යාපීඨ වර්ණ ප්‍රදානය කිරීම සිදු කරන ලදී.

ඉන් වසර 25කට පසුව වර්ණයන් දෙවන වරට ප්‍රතිප්‍රදානය හෙවත් පුනර් ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද දින සිදු කෙරිණි.

අනතුරුව ජනාධිපතිවරයා විසිර ගිය කැඩෙට් නිලධාරී නිලධාරිනියන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් දියතලාව යුද හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාව අභිමානවත් ඉතිහාසයකට උරුම්කම් කියන දක්ෂ හමුදාවක් බවත් එහි අභිමානය රැක ගනිමින් කටයුතු කීරීම ඊට එක්වන සියලු දෙනාගේ වගකීම බවත්ය.

තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව නායකත්වය ලබා දෙන ලෙස මෙහිදී විසිරි යන නිලධාරීන්ගෙන් සහ නිලධාරිනියන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා නායකත්වය දිය යුත්තේ අසීරු අවස්ථාවලදී බවත්, ඒ බව සිහියේ තබා ගනිමින් රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට සියලු දෙනා කැපවිය යුතු බවත් පැවසීය.



Recommended Articles